රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇසෙන යන්ත්‍රවල ඒකාකාරී හඬ මැද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියේ ජෝර්ජ් පිකරින්ගේ ආදරණීය පුතණුවන්ය. දරුණු ආඝාත තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ තරුණ පුතාගේ සිරුර නිසලව තිබූ අතර වෛද්‍යවරුන්ගේ අවසන් නිගමනය වී තිබුණේ ඔහුගේ මොළය මියගොස් ඇති බවයි. වෛද්‍ය විද්‍යාවේ දත්ත සහ පරීක්ෂණ වාර්තා අනුව ඔහු නැවත කිසිදා දෑස් අරින්නේ නැත. ඒ නිසාම රෝහල් කාර්ය මණ්ඩලය තීරණය කර තිබුණේ ඔහු ජීවත් කරවන කෘතිම ශ්වසන යන්ත්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමටත්, එම අවයව වෙනත් රෝගීන් සඳහා ලබා ගැනීමටත්ය. මෙය වෛද්‍ය විද්‍යාත්මකව නිවැරදි තීරණයක් විය හැකි වුවත්, තාත්තා කෙනෙකුගේ හදවතකට එය දරාගත නොහැකි මරණීය වේදනාවක් විය.
තම පුතා තවමත් තමන්ව හැර ගොස් නැති බවට ජෝර්ජ් පිකරින් නම් ඒ පියා තුළ අමුතුම විශ්වාසයක් තිබුණි. ඔහු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ පුතාට තව ටික කාලයක් ලබා දෙන ලෙසයි. නමුත් රෝහල් පාලනාධිකාරිය ඊට එකඟ වූයේ නැත. “වෙනත් රෝගීන් බලාපොරොත්තුවෙන් ඉන්නවා, මෙය ප්‍රමාද කරන්න බැහැ” යනුවෙන් ඔවුන් පැවසූ විට පිය සෙනෙහස ඊට එරෙහිව කැරලි ගැසීය. නීතියෙන් හෝ වෛද්‍ය විද්‍යාවෙන් තමන්ට සහනයක් නොලැබෙන බව තේරුම් ගත් ජෝර්ජ්, තීරණාත්මක සහ භයානක පියවරක් ගැනීමට තීරණය කළේය. ඔහු පිස්තෝලයක් රැගෙන කෙලින්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයට කඩා වැදුණේ තම පුතාගේ ජීවිතය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමිනි.
මුළු රෝහලම භීතියෙන් ඇලළී ගිය අතර පොලිස් විශේෂ කාර්ය බලකායන් රෝහල වටලද්දී, ජෝර්ජ් තම පුතාගේ ඇඳ අසලට වී වෛද්‍යවරුන් පවා පලවා හැරියේය. ඔහුගේ අරමුණ කිසිවෙකු ඝාතනය කිරීම නොව, යන්ත්‍ර ගලවා දැමීම වැළැක්වීම පමණි. “මම දන්නවා මගේ පුතා ඉන්නවා” යැයි ඔහු දිගින් දිගටම කියා සිටියේය. පැය ගණනාවක් පුරා ඇදුණු මෙම ත්‍රාසජනක සිදුවීම අතරතුරදී කාටත් අදහාගත නොහැකි ආශ්චර්යයක් සිදුවිය. පියා තම පුතාගේ අත අල්ලාගෙන කතා කරද්දී, පුතා ඉතාමත් සියුම් ලෙස පියාගේ අත තද කළේය. මියගිය බවට සහතික කළ මොළයක් ඇති මිනිසෙකුට ප්‍රතිචාර දැක්විය නොහැක. නමුත් ඒ මොහොතේ පියාගේ බලාපොරොත්තුව සැබෑවක් බවට පත්වෙමින් පුතා ජීවිතයේ සලකුණු පෙන්වන්නට විය.
අවසානයේදී පියා නීතියට යටත් වූ අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහු ලබා දුන් ඒ අමතර කාලය තුළ වෛද්‍යවරු නැවතත් පුතාව පරීක්ෂා කළ අතර පුදුමයකට මෙන් ඔහු සුවය ලබමින් සිටින බව තහවුරු විය. මාස ගණනකට පසු පුතා පූර්ණ සුවය ලබා නැවත සාමාන්‍ය ජීවිතයට පැමිණියේය. රෝහලේ කලහකාරී ලෙස හැසිරීම සහ ආයුධයක් ළඟ තබා ගැනීම යන චෝදනා මත පියාට සිර දඬුවම් විඳීමට සිදු වුවද, ඔහු ඊට මුහුණ දුන්නේ සතුටිනි. මන්ද, එදා ඔහු නීතිය අතට නොගත්තේ නම් අද ඔහුගේ පුතා ජීවතුන් අතර නැති බව ඔහු දැන සිටි බැවිනි.
මෙම සිදුවීම ලොව පුරා දැඩි කතාබහට ලක් වූයේ තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවද, ආදරය සහ බැඳීම ඊට වඩා ප්‍රබල විය හැකි බව පෙන්වා දෙමිනි. සිරගෙදර සිට නිදහස ලැබූ පියා නැවත පැමිණෙන විට, මියගියා යැයි සම්මත වූ පුතා තම පියාව පිළිගැනීමට බලා සිටියේය. මෙය හුදෙක් අපරාධයක් හෝ ප්‍රාණ ඇපකරුවන් තබා ගැනීමේ සිදුවීමක් නොව, තම දරුවාගේ හුස්ම ටික රැකගැනීම වෙනුවෙන් තාත්තා කෙනෙකු ලෝකයක් සමඟ තනිවම කළ සටනක ජයග්‍රහණයකි.
Wishwa Karma







