BREAKING NEWS
Search

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ට සහ විදේශ ශ්‍රමිකයන්ට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

1512

 

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන් තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකා රජය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.

අද (01) සවස ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගනු ලැබූ අතර, එය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 සංචාරකයන්ට වීසා සහන

මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන් මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ වීසා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තු රහිතව දිගු කිරීමට රජය තීරණය කර ඇත. අවශ්‍ය වුවහොත් තවදුරටත් දිගු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරේ.

එමෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය හරහා අදාළ තානාපති කාර්යාල සමඟ සෘජු සම්බන්ධතාවක් පවත්වා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් වේ.

 ගුවන් ගමන් අවහිරතා සඳහා විකල්ප

මැදපෙරදිග රටවල් කිහිපයක ගුවන් අවකාශ වසා දමා තිබීම හේතුවෙන් ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන්, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් එක්ව විකල්ප ගුවන් මාර්ග සොයා බලමින් සිටී. ඒ අනුව සංචාරකයන්ට තම රටවල් වෙත ආපසු යාම සඳහා විකල්ප ගමන් පහසුකම් සලසා දීමට සැලසුම් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සංචාරකයන්ටද බාධාවකින් තොරව පැමිණීමට විකල්ප ගමනාන්ත සහ ගමන් මාර්ග සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව සමඟ සාකච්ඡා පැවැත්වේ.

 

අර්බුදකාරී තත්ත්වය හමුවේ, රජයේ ආයතන කිහිපයක් හරහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සහාය සේවා ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය – මෙරට සිටින සංචාරකයන්ට 1912 හදිසි ඇමතුම් අංකය හරහා සහාය ලබා ගත හැක.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය – විදේශයන්හි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා 1989 අංකය හරහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වේ.

තානාපති කාර්යාල සූදානම්

විදේශ අමාත්‍යාංශය මැදිහත්ව, මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ ඒකාබද්ධ යාන්ත්‍රණයක්ද සකස් කර ඇත. හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර ලබා දීමට සහ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පාර්ශ්ව සූදානම් බව සඳහන් වේ.

ඒ අතරතුර, සංචාරකයන්ගේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්, තත්ත්වය අනුව කඩිනම් තීරණ ගැනීමටත් රජය සූදානම් බව ද එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!