බොහෝ දෙනෙක් තමන්ගේම කියා නිවසක් සහ ඉඩමක් මිලදී ගෙන පදිංචි වෙන්නේ ඉතාමත් නිස්කලංක ජීවිතයක් ගත කිරීමටයි. නමුත් ඒ සිහිනය බොඳ වී යන්නට ගතවෙන්නේ ඉතා සුළු කාලයක් විය හැකියි. ඒ ඔබේ අසල්වැසියා නීතිගරුක හෝ විනයගරුක අයෙක් නොවේ නම් පමණි. බොහෝ විට අපට අසන්නට ලැබෙන සුලභම ගැටලුවක් වන්නේ යාබද නිවසේ කුණු කසළ තාප්පයෙන් මෙහාට විසිකිරීම හෝ ඔවුන්ගේ අපවිත්‍ර ජලය ඔබේ ඉඩමට හරවා යැවීමයි. මෙය හුදෙක් සදාචාරාත්මක ප්‍රශ්නයක් පමණක් නොව රටේ නීතිය ඉදිරියේ බරපතල වරදක් බව බොහෝ දෙනා නොදනිති. බොහෝ විට “මේක අපි දාපු එකක් නෙවෙයි, හුළඟට ගහගෙන ආපු දෙයක්” වැනි බොළඳ නිදහසට කරුණු කීමෙන් තම වරද වසා ගැනීමට මෙවැනි පුද්ගලයන් උත්සාහ කළද, නීතිය ඉදිරියේ එවැනි කතා වලංගු නොවන බව මතක තබා ගත යුතුය.
ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව තුළ ඔබේ පෞද්ගලික ඉඩමක සාමයට හෝ සෞඛ්‍යයට හානි වන අයුරින් අසල්වැසියෙකු ක්‍රියා කරයි නම්, එයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව මෙය නීතිමය වශයෙන් හැඳින්වෙන්නේ “මහජන පීඩාවක්” (Public Nuisance) ලෙසයි. යම් අයෙක් අවට සිටින අයට දුගඳක් හමන පරිදි, අපිරිසිදු වන පරිදි හෝ රෝග බෝවන පරිදි කසළ බැහැර කරයි නම් එය මෙම නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම ජාතික පාරිසරික පනත යටතේද අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම පරිසර දූෂණයක් ලෙස සලකන අතර, මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම පළාත් පාලන ආයතනවලටද මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පුළුල් බලතල ලබා දී තිබේ.
මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට (PHI) හිමිවන්නේ සුවිශේෂී වගකීමකි. ඔබේ ඉඩමට දමන කුණු හේතුවෙන් මැස්සන්, මීයන් වැනි සතුන් බෝවීම හෝ ඩෙංගු වැනි මාරාන්තික රෝග පැතිරීමේ අවදානමක් පවතී නම්, එය සාමාන්‍ය ආරවුලකට එහා ගිය සෞඛ්‍ය ගැටලුවකි. මෙවැනි අවස්ථාවකදී අදාළ අසල්වැසියාට එරෙහිව නීතිමය නිවේදන නිකුත් කිරීමටත්, ඔවුන් අධිකරණය වෙත පමුණුවා නීතිය ක්‍රියාත්මක කරවීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හැකියාව ඇත. එබැවින් ඔබේ වත්ත කුණු ගොඩක් වීමට ඉඩ නොදී වහාම ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලිඛිතව පැමිණිලි කිරීම වඩාත් ප්‍රතිඵලදායක පියවරකි.
මෙවැනි ගැටලුවකදී අසල්වැසියා සමඟ බහින්බස් වීම හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් සිදුවන්නේ ඔබේ මානසික නිදහස අහිමි වීම පමණි. ඒ වෙනුවට බුද්ධිමත්ව සහ උපායශීලීව සාක්ෂි රැස් කිරීම කළ යුතුය. කුණු දමන අවස්ථාවන් දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ CCTV දර්ශන ලබා ගැනීම මේ සඳහා ඉතා වැදගත් වේ. නමුත් එම පටිගත කිරීම් සිදු කිරීමේදී අන් අයගේ පෞද්ගලිකත්වයට (Privacy) හානියක් නොවන ලෙස එය සිදු කිරීමට වගබලා ගත යුතුය. අදාළ ක්‍රියාව දිගින් දිගටම සිදුවෙමින් ඔබේ සාමයට හෝ ජීවිතයට තර්ජනයක් වන මට්ටමේ පවතී නම් පමණක්, එම සාක්ෂි සමඟ පොලීසියේ 119 අංකයට හෝ ළඟම පොලිස් ස්ථානයට “අසල්වැසි පීඩාව” යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. එසේම ඔබේ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ සෞඛ්‍ය අංශය දැනුවත් කිරීමෙන්ද අදාළ නිවසට අවවාද කිරීමට හෝ නඩු පැවරීමට කටයුතු සම්පාදනය කරගත හැකිය. කෑ කෝ ගසා ප්‍රශ්න විසඳනවාට වඩා නිහඬව නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, හිතුවක්කාර අසල්වැසියන් පාලනය කිරීම පහසු වනු ඇත.
Wishwa Karma







