BREAKING NEWS
Search

හේමාල් ලක්ශ 40 ක් ගන්නේ මෙච්චරකල් පොල් ගාලා නෙමෙයිනේ…

1479

 

පහුගියදා චිත්‍රපටි නිශ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු කියල තිබුණ චිත්‍රපටියක රඟපාන්න හේමාල් රණසිංහ ලක්ෂ හතලිහක් අය කරනව එතකොට කොහොමද චිත්‍රපටි කරන්නෙ කියල. මේ කතාව ටිකක් කකාබහට ලක්වුණා පහුගිය දවස් ටිකේ.

මේ ප්‍රකාශය කරන සුනිල් ටී ප්‍රනාන්දුත් මේ වෙද්දි චිත්‍රපටි බර ගාණක් නිශ්පාදනය කරපු කෙනෙක්. ඒ ප්‍රකාශය කරපු විදිය අනුව පේන්නෙ තනි නළුවෙකුට ලක්ෂ හතලිහක් ගෙව්වම අනිත් ඔක්කොටෝම ගෙවන්නෙ කොහොමද වගේ එකක්. සුනිල් ටී ප්‍රනාන්දුගෙ සිනමා නිශ්පාදන ක්‍රමවේදයට ඒක ඔරොත්තු දෙන්නෙ නෑ කියන තමයි ඒ ප්‍රකාශයෙන් ඒත්තු යන්නෙ.

දැන් මේ ප්‍රකාශයට අනුව හේමාල් රණසිංහ චිත්‍රපටියක රඟපාන්න ලක්ෂ හතලිහක් අය කිරීම සාපරාධි ක්‍රියාවක් වගේ තමයි සුනිල් ටී ප්‍රනාන්දුගෙ අදහස.

නළුවෙක් හෝ නිළියක් චිත්‍රපටියකට අය කරන ගාස්තුව තීරණය වෙන්නෙ ඒ ඒ අයගෙ කෙරුවාවෙ තරමට තමයි. දැන් හේමාල් රණසිංහ චිත්‍රපටියක රඟපාන්න ලක්ෂ හතලිහක් අය කරනවා නම් ඒ මිල තීරණය යම් සාධක ටිකක් තියෙනවනෙ. හේමාල් මෙච්චර කලක් පොල් ගාලා නෙවෙයි මේ මිලට එන්නෙ. මිනිහට හැදුණු වටිනාමක් තියෙන නිසා තමයි දැන් හේමාල්ට පුළුවන් වෙන්නෙ කියන්න “මගේ මිල මේකයි මාව චිත්‍රපටිවලට ගන්නව නම් ගනිං නැත්තං නිකං ඉදපල්ල” කියල. හේමාල් ක්ෂේත්‍රයට අඩිය තියපු කාලෙ කරපු රඟපාපු මිල ගණන්වල ඉදල සුනිල් ටී කියන විදියට දැන් අය කරන ලක්ෂ හතලිහේ රේන්ජ් එකට එන්න නිකං ඉදල බෑනේ. ඒ පිටුපස හේමාල් හදාගත්ත පසුබිමක් තියෙනව.

හේමාල් රණසිංහට ලක්ෂ හතලිහක් නෙවෙයි පනහක් හැටක් ගෙවල හරි මිනිහව ගන්න අධ්‍යක්ෂවරු නිශ්පාදකවරු ඉන්නව නම් සුනිල් ටී ට පාං ද කියල තමයි අහන්න වෙන්නෙ. ඒ මිලට හේමාල්ව ගන්න බැරි තරමට සිනමාව බංකොලොත් නම් හේමාල්ටම සිද්ධවෙයි ගණන් බස්සන්න. හේමාල්ගේ ගාණට එකඟ වෙන්න තරම් පොහොසත් නිශ්පාදකවරු ඉන්න එක ගැන නිශ්පාදකයෙක් හැටියට හරි නම් සුනිල් ⁣ටී ප්‍රනාන්දු සංතෝස වෙන්න ඕන.

දැනට ඉන්න නළුවො අතර වැඩිම මිලක් අය කරන නළුව හේමාල් රණසිංහද කියල අපි දන්නෙ නෑ. හැබැයි හේමාල් ඒ තරම් මිලක් අය කිරීම වගේම එක නළුවෙකුට ඒ වගේ මිලක් ගෙවල අනිත් සියලු දේවල්වලටත් ගෙවල චිත්‍රපටි කෙරෙන පසුබිමක් තියෙනව නම් අපේ සිනමා කර්මාන්තය ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඕන කෙනෙකුගෙ වෘත්තීය මට්ටම තීරණය වෙන්නෙ ඒ පුද්ගලයගෙ කෙරුවාව මත.

 

අනිත් වැදගත්ම කාරණය තමයි ඒ වගේ මිලක් ගෙවල ගන්න නළුවෙක් හෝ නිළියක් තමන්ගෙ ජොබ් එක චිත්‍රපටිය ඇතුලෙ කරනවද කියන එක. ජනප්‍රියත්වයේ කිරුළ දරාගෙන හිටියත් වැඩක් නෑ ඒ නළුව හෝ නිළිය රඟපාන චිත්‍රපටි දුවන්නෙ නැත්නම්. හේමාල් රණසිංහ මෑත කාලෙ රඟපාපු චිත්‍රපටි බොහොමයක් පැල් බැදගෙන දුවපු චිත්‍රපටි නෙවෙයි. එහෙම තියෙද්දිත් හේමාල්ට තමන්ගෙ මිලට චිත්‍රපටි එනව කියන්නෙ වාසනාවක්. මේ අවුරුද්දෙ ආදායම් වාර්තා තියල දුවපු සහ දැනටත් දුවන චිත්‍රපටි එකකවත් හේමාල් වගේ ජනප්‍රියත්වයෙන් රෑන්න් වෙච්ච නළුවන්ට වඩා ප්‍රියන්ත සිරිකුමාර වර්ගයේ නළුවන් වටා තමයි වැඩේ කැරකෙන්නෙ. ප්‍රියන්ත සිරිකුමාරලට කෞෂ්‍යලා ප්‍රනාන්දුලට චිත්‍රපටි දුවවන්න පුළුවන්වීම අපි හරියට රීඩ් කරන්ගන්න ඕන තත්ත්වයක්.

විජය කුමාරතුංග වගේ නළුවෙක් ලෙස්ටර් ජේම්ස් පීරිස්ටත් ඕන වෙනව සුනිල් සෝම පීරිස්ටත් ඕන වෙනව.ඒ වගේම ධර්මසේන පතිරාජටත් ඕන වෙනව යසපාලිත නානායක්කාරටත් ඕන වෙනව. ඒ මැද්දෙන් සුමිත්‍රා පීරිස්ටත් ඕන වෙනව වසන්ත ඔබේසේකරටත් ඕන වෙනව, එච්.ඩී.ප්‍රේමරත්නටත් ඕන වෙනව.රටේ හතරදිග්භාගයෙම භීෂණය රජ කරපු 89 අවුරුද්දෙ “නොම්මර 17” පැල් බැදගෙන දුවන්නෙ බොක්ස් ඔෆිස් රෙකෝඩ් තියල.

හේමාල් රණසිංහ ප්‍රසන්න විතානගේලගෙ හඳගමලගෙ විමුක්තිලගෙ චිත්‍රපටියක රඟපාන දවසක මීට වඩා සද්දෙට ක්ලැප් එක වදීවි.විජය කුමාරතුංග හොදම නළුව වුණේ “කැඩපතක ඡායා” චිත්‍රපටියෙ වුණාට හේමාල් හොදම නළුව වුණේ “සිහින නෙළුම් මල්” චිත්‍රපටියෙ මිනිහ කරපු දුර්වල රඟපෑමකට.

හේමාල් රණසිංහගෙ අය කිරීම සැර වැඩි නම් දැන් සුනිල් ⁣ටී ප්‍රනාන්දුට පුළුවන් හේමාල්ව අතැරල ඊට වඩා මිල අඩු නළුවෙක් තමන්ගෙ චිත්‍රපටියට ගන්න.සුනිල් ටී ප්‍රනාන්දු වගේම වෙන ඕනම අධ්‍යක්ෂක කෙනෙකුට වුණත් පුළුවන් තමන්ගෙ බජට් එකට ඔරොත්තු නොදෙන නළුවෙක් නිළියක් නොගෙන ඉන්න.එහෙමයි කියල අරය මෙච්චර ගන්නව මෙයා මෙච්චර ගන්නව ඒකෙන් සිනමාවට කෙලවෙනව වගේ බයිල ගහන එක නම් හෙනම ගොංපාට් එකක්.

 

සටහන – ප්‍රියන්ත කොඩිප්පිලි

(මෙම ලිපිය මුල් වරට 2025/11/09 වන දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවිය)

Credit goes to Mirror Arts




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!