Wed. Apr 30th, 2025

සෙබළුන් විසිදහසකගේ ජීවිත බේරා ගන්නට මල්ටි බැරල් රොකට් ගෙනෙන්නට ගිය විශ්මජනක ගමන මෙන්න.

විසි දහසක් සෙබළුන්ගේ ජීවිත බේරා ගන්නට මල්ටි බැරල් රොකට් ගෙනෙන්නට ගිය විශ්මය ජනක ගමන…
මේජර් ජෙනරල් සනත් කරුණාරත්න ඊළාම් ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දීර්ඝතම කාලයක් පෙරමුණේ සිටි සෙන්පතියෙකි.

අමතක නොවන කෝප්‍රල් ගාමිණී කුලරත්න ජීවිතය පූජා කල අලිමංකඩ සටන ඇතුළුව අලිමංකඩ සහ මූණමාලේ ප්‍රදේශයේ පැවති බිහිසුණු සටන් කීපයකදී හමුදාවේ විවිධ තනතුරු දරමින් එම සටන් මෙහෙයවූ සෙන්පතියෙක් විය..

දීර්ඝ කාලයක් උතුරේ සටන් බිමේ එක දිග සිටි ඔහු 1998 වසරේ විශේෂ පුහුණුවක් සඳහා විදෙස්ගත වී අනතුරුව පැමිණි විට යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක ලෙස කොළඹට ස්ථාන මාරුවක් ලැබිණි…
දීර්ඝ කාලයේ සටන් බිමේ සිටි සෙනෙවියකුට සමහරවිට ඒ යම් විරාමයක් සඳහා විය හැකිය..
ඒ ලැබුණු කෙටි කාලයේදී ඔහු සිය දැනුම වැඩි කර ගැනීම සඳහා NIBM ආයතනයේ පශ්චාත් උපාධියක් සඳහා ලියාපදිංචි විය..

මේ කාලය වන විට අපේ හමුදාව ජය සිකුරු මෙහෙයුමෙන් වවුනියාවෙන් ඉහළට අල්ලා ගත් විශාල පාලන බල ප්‍රදේශයක් එල්ටීඊටීය විසින් ඇරඹූ දරුණු ප්‍රහාරයක් වන නොනවතින රැල්ල 03 යටතේ බිද වැටෙමින් පැවතිණි..
ප්‍රභාකරන් විසින් නැගෙනහිර සිටි කරුණා අම්මාන් කැඳවා ඔහුගේ නායකත්වයෙන් එල්ල කරනු ලැබූ එම ප්‍රහාරය අපේ හමුදාවන්ට බරපතළ පරාජයන් ඇති වූ අවස්ථාවක් විය..

එල්ටීටීඊ ත්‍රස්තවාදින් සීග්‍රයෙන් උතුර බලා අපේ කඳවුරු විනාශ කරමින් ඇදෙන්නට විය..
අපේ සෙබළු පන්සිය හයසීය සිටි කඳවුරුද ඔවුන්ගේ ප්‍රහාරවලින් ඉක්මනින් බිඳ වැටෙමින් පැවතිණි….
කිලිනොච්චිය සහ මාන්කුලම් දැවැන්න පරාජයන්ද ඒ අතර විය…
මේ මොහොතේ කොළඹ සිටි, දීර්ඝ කාලයක් උතුරේ යුද බිමේ සටන් කළ, බ්‍රිගේඩියර් සනත් කරුණාරරත්න ද මේ අවාසනාවන්ත තත්ත්වය නිසා සිටියේ මහත් කම්පාවෙනි..
මහත් කැප කිරීම් වලින් ජීවිත පූජා කිරීම් වලින් මුදාගත් භූමිය එල්ටීටීඊය විසින් වේගයෙන් අත්පත් කර ගැනීම රටට ආදරය ඇති මිනිසුන්ට මෙන්ම ඒ සඳහා කැපවුණු හමුදා නිලධාරීන්ට දරාගත නොහැකි දෙයක් විය….
මේ බිහිසුණු සමයේ දිනෙක ඔහු දේශනයක් සඳහා සහභාගි වෙමින් සිටි මොහොතක දේශනාගාරයට පැමිණි එම ආයතනයේ නිලධාරියෙක්

” මෙතන බ්‍රිගේඩියර් කරුණාරත්ත කියලා කෙනෙක් ඉන්නවාදැයි” විමසා තිබේ..
ඒ තමා බව ඔහුට පැවසූ විට
” ඔබට හදිසි දුරකථන ඇමතුමක් අපේ කාර්යාලයට පැමිණ තිබෙනවා.. ඉක්මනින් පැමිණ කතා කරන්න” යනුවෙන් පවසා ඇත….
ඒ අනුව එම කාර්යාලයට ගොස් දුරකථන ඇමතුමට පිළිතුරු දුන් විට එහි අනිත් කෙළවරේ සිට ඇත්තේ එවකට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රී ලාල් වීරසූරියයි…
” සනත් වහාම පැමිණ මේ දැන් මා හමුවන්න” .. ඒ යුද හමුදාපතිවරයාගෙන් බ්‍රිගේඩියර් කරුණාරත්තට ඒ මොහොතේ ලැබුණු නියෝගයයි..
නැවත සිය දේශකවරයාට දැනුම් දී ඔහු විගසින් යුද හමුදා මූලස්ථානයට පැමිණ යුද හමුදාපතිවරයා හමුවී ඇත..
මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න පවසන්නේ ඉතාමත්ම ප්‍රියමනාප ප්‍රසන්න සහ එඩිතර නිලධාරියකු වූ යුද හමුදාපතිවරයා ඒ මොහොතේ දැඩි පීඩනයකින් සිටි බවයි..
මා මුලින් කියූ පරිදි වවුනියාවේ සිට උතුරට ඒ නවය මාර්ගයේ කඳවුරු එකිනෙක බිඳ වැටෙමින් පැවතිණි ..
උතුරේ සිටින යුද හමුදා සෙබළුන් විසි දහසකට අවශ්‍ය මිනී පෙට්ටි සූදානම් කරගන්නා ලෙස එල්ටීටීඊ සංවිධානයේ රජයට උපහාසාත්මක පණිවිඩ දෙමින් තිබිණි..
මේ යන වේගයට ඔවුන් උතුරට ගියහොත් උතුර ඔවුනට හිමිවී රට දෙකඩ කිරීම සඳහා ඉදිරියට එන එල්ටීටීඊ ජයග්‍රහණය වැළැක්වීම අපහසු බව පෙනිනි…
අපේ හමුදා ජීවිත පූජාවෙන් කැපවීමෙන් දිවි නොතකා සටන් කළත් ඒ මොහොතේ වාසිය එල්ටීටීඊ දෙසට හැරෙමින් පැවතිණි…

මේ වේගවත් ගමන නැවැත්වීමට මේ මොහොතේ අවශ්‍යම යුද උපකරණය ලෙස නොනවතින රැල්ල නැවැත්වීමට නම් Multi Barrel Rocket Launcher MBRL අවිය යුධ හමුදාවට අත්‍යවශ්‍ය එකක් බවට තීරණය වී තිබිණි..
නමුත් මෙතරම් ඉක්මනට එම අවිය අවශ්‍ය වන්නට ඇතැයි යුද හමුදාව පවා එතෙක් විශ්වාස කරන්නට නැත..
එම ආයුධ සපයන සමාගම සමඟ සාකච්ඡා කර ඒවා ලබාදීමට එකඟවීම නිසා ක්ෂණිකව ඒ මොහොතේ ඒ සඳහා ක්‍රියාත්මක වන්නට සිදු වී තිබිණි.
යුද හමුදාපතිවරයා එවකට බ්‍රිගේඩියර් කරුණාරත්න ඔහු හමුවට කැඳවා තිබුණේ ඒ නිසාය..
” සනත් ඔබ අද රෑම Czech Republic වෙත පිටත් වෙන්න ඕනෑ..MBRL හතරක් රොකට්ස් එක්ක ගේන්න ඕනේ.. පරක්කු වෙන හැම විනාඩියක්ම අපේ කොල්ලන්ගේ ජීවිත වලට බලපානවා..
ඔයාට Czech Republic වල වීසා ප්‍රශ්නයක් නෑ.. ඒත් UK හරහා යන්න වෙන්නේ.. British High Commission එකෙන් ඒ වැඩ ටික අදම දැන්ම ඉවර කරගන්න ඕන..
ඔයාට මේකට තව කවුරු හරි ඕනද..?
යුද හමුදාපතිවරයා විමසා තිබේ..
ඒ සඳහා තමාට Ammo Technical officer කෙනෙක් අවශ්‍ය බව බ්‍රිගේඩියර් කරුණාරත්න පැවසූ විට ,
සර්ඒ සඳහා ඔහුට කර්නල් නියෝමාල් නිකහැටිය නම් එම ආයුධ පිළිබඳව හමුදාව සතුව සිටි විශිෂ්ට නිලධාරියකු ලබා දී ඇත..

ඒ අනුව ඒ මොහොතේම ඔවුන් දෙදෙනා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල වෙත ගොස් විදේශ අමාත්‍යංශයේද ක්ෂණික මැදිහත්වීම තුළින් බ්‍රිතාන්‍යයට අවශ්‍ය ලියකියවිලි සකස් කරගෙන තිබේ..
මේජර් ජෙනරල් සනත් කරුණාරත්න පවසන්නේ තමා එම කටයුතුවල නිරත වන ගමන් ගෙදරට කතාකර රාත්‍රී රටින් පිටවීමට තිබෙන බව පවසා අවශ්‍ය ඇඳුම් සූදානම් කර තබන ලෙස සිය බිරිඳට පැවසූ බවය..
උදේ පාන්දර ගෙදරින් පිටත් වන විට රෑට මෙතරම් දුර ගමනක් යන්නට සිහිනෙකින්වත් ඔහුට බලාපොරොත්තුවක් තිබුනේ නැත…

ඒ අනුව එදිනම මධ්‍යම රාත්‍රියේ බ්‍රිතාන්‍ය හරහා චෙක් ජනරජය බලා බ්‍රිගේඩියර් සනත් කරුණාරත්න කර්නල් නියෝමාල් නිකහැටිය සමග පිටත්ව ගියේය..
පැය විසි හතරකට වැඩි නිදි නැති ගමනකින් ඔවුන් පසුදා රාත්‍රියේ චෙක් ජනරජය වෙත ළඟා වූහ..
ඒ වන විට චෙක් ජනරජය වෝර්සෝ ගිවිසුමේ ඉවත් වී නේටෝවට ඇතුළත් වීම සඳහා සූදානමින්ම සිටි කාලයයි..
ඒ නිසා ඔවුන් එවකට පාවිච්චි කළ වෝර්සෝ සංවිධානය භාවිතා කළ ආයුධ වලින් ඉවත් වීමේ අවශ්‍යතාවයට ද මුහුණ දී තිබිණි..

අපට මේ ප්‍රබල අවිය ඔවුන් වෙතින් ලබා ගැනීමට එයද එක් හේතුවක් වූ බව මේජර් ජෙනරල් කරුණාරත්ව පවසයි..

මුලින් අප එම අවි හතරක් මුලදී ගැනීමට සූදානම් වූ අතර අතර එම ප්‍රධාන අවිය නොමිලේත් ඒවාට යොදන රොකට් මිලදී ගැනීමටත් එකඟතාවයකට එළඹ තිබිණි…

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවරට ළඟා වූ අපේ නිලධාරීන් ඉන් අනතුරුව,
කිසිදු විවේකයකින් තොරව ලැබුණු ප්‍රථම අවස්ථාවේදී එම ආයුධ පරීක්ෂා කිරීමේ කටයුතුවලට ක්ෂණිකව එකතු විය…

එම රොකට් සමහර ඒවා නියමිත කාලසීමාවට ආසන්න වෙමින් පැවතුණු අතර ඒවා නැවත නියමිත ආකාරයට Refurbish කර ඇත්දැයි කර්නල් නියෝමාල් නිකහැටිය විශේෂයෙන්ම අවධානයෙන් පරීක්ෂා කර තිබිණි..
ඔහු බ්‍රිගේඩියර් කරුණාරත්නට එදා පවසා තිබුණේ ඒවා සෑහීමකට පත්විය හැකි මට්ටමට තිබෙන බවයි..
ඒ අනුව ඊළඟ පියවර වූයේ හැකි ඉක්මනින් ඒවා ශ්‍රී ලංකාව බලා එවීමයි..
ප්‍රාග් ගුවන් තොටුපළ සිවිල් ගුවන් තොටුපලක් නිසා එම ගුවන්තොටුපළින් ඒවා ගුවන්ගත කිරීමට අවස්ථාවක් නැත..

ඒ වෙනුවට ඉන් ඈත තිබූ ඕස්ට්‍රා නැමැති ගුවන්තොටුපල ඒ සඳහා යොදා ගැනීමට තීරණය විය..
ඒ සමගම ඇති වූ අනෙක් ප්‍රශ්නය මේ සඳහා ගුවන් යානා සොයා ගැනීමයි..
හමුදා මූලස්ථානයෙන් උපදෙස් ලැබී තිබුණේ කෙසේ හෝ කවර හෝ ගුවන් සේවාවක් හැකි ඉක්මනින් මේ සඳහා වෙන්කර ගන්නා ලෙසත් ඒ සඳහා වැයවෙන මුදලට වඩා පිළිබඳව ඉක්මන් භාවය පිළිබඳ සැලකිලිමත් වන ලෙසය..

මෙය රටක අනාගතය තීරණය වෙන මොහොතක් බවට සීග්‍රයෙන් පත්වෙමින් තිබිණි…
ඒ අනුව ඉක්මනින්ම සොයාගත හැකි ගුවන් සේවය අසයිබර්ජාන් හි ගුවන් සේවයක් විය..
ඉතා ඉක්මනින් කෙරුණු සාකච්ඡාවලින් පසු එම ගුවන් යානා අදාළ ගුවන් තොටුපළ වෙත පැමිණියහ..
මේජර් ජෙනරාල් කරුණාරත්න පවසන්නේ ඔවුන් අපට දැක පුරුදු ඇති ගුවන් නියමුවන් මෙන් නොව දඩබ්බර පෙනුමක් ඇති බෙල්ලේ ලේන්සුද ගැටගහගෙන සිටි පිරිසක් බවයි..

සන්නිවේදනය සඳහා භාෂාව ද ගැටළුවක් වූ අතර පරිවර්තකයන්ගේ මාර්ගයෙන් කතාබස් කළ බවත් පිට පෙනුම කෙසේ වුවත් ඔවුන් ඉතාමත් සුහද ලෙස තමන් සමග එම කාර්යයට එක් වූ බවත්ය..
අදාළ ආයුධ රොකට් අදාල ස්ථානයේ සිට දුම්රිය මාර්ගයෙන් ඕස්ට්‍රා ගෙනවිත් එතැන සිට ලොරි වලින් අදාල ගුවන්තොටුපළ වෙත ගෙන විත් තිබිණි..

සියලු කටයුතු සම්පාදනයටද මැදිහත්වීමට අපේ නිලධාරීන්ටද සිදුවූහ…
තවත් ගැටළුවක් වූයේ මෙම ගුවන් යානා පලාලි වෙත ගොඩ බැස්විය හැකි ද යන්නයි..
ශ්‍රී ලංකාවට කතාකර පලාලි ගුවන්තොටුපලේ ධාවන පථයේ තත්ත්වය දිග පළල සහ ගුවන්තොටුපළේ විස්තර ලබාගෙන ඒවා ගුවන් නියමුවන්ට ලබා දී ඔවුන් සමඟ සාකච්ඡා කළ පසු එම නිර්භීත නියමුවන් පලාලි වෙත කෙලින්ම ආයුධ ගෙන ඒමට කැමැත්ත පළකර තිබිණි…
ඒ අනුව මුල් ගුවන් යානා දෙක පිටත් වූ අතර තෙවැනි ගුවන් යානය පිටත් වීමට පෙර ලංකාවෙන් ලැබුණේ තවත් බියකරු පුවතකි..

ඒ සමගම නැවත කොළඹින් දැනුම් දී ඇත්තේ පලාලි වෙත ගුවන්යානා බැසවීම කළ නොහැකි බවත් ඉදිරියට එන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පලාලි ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශවලටද මේ මොහොත වන විට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්ය..
සමහරවිට පලාලි ධාවන පථය ද අවධානමේන් තිබෙන බවත්ය.
අද යාපනයේ නිදහසේ යන මිනිසුන් මේ අතීතය පිළිබඳ වරක් දෙවරක් නොව දහස් වරක් වුවත් කියවිය යුත්තේ අද ලබාගත් නිදහස ක් ලබා ගැනීම සඳහා මොනතරම් කැප කිරීම් අපේ මිනිසුන් අතීතයේදී කරාද යන්න පිළිබඳ අවබෝධයක් ජාතියක් වශයෙන් අප සතුව තිබිය යුතු නිසාය..
ගුවන් යානාවලට ආයුධ පැටවීම සිදු කරද්දී සමහර උපකරණ පෙට්ටි තමනුත් කර්නල්වරයාත් කර තබා ගනිමින් ගුවන් යානා වෙත පැටවීමට උදව් කළ බව මේජර් ජනරාල් සනත් කරුණාරත්න පවසයි..
ලෝක ඉතිහාසයේ සිය රටේ හමුදාවන්ට අවශ්‍ය ආයුධ ලබාගැනීමක් සඳහා විදෙස් රටකට ගිය බ්‍රිගේඩියර් වරයෙක් සහ කර්නල් වරයෙක් බඩු පෙට්ටි කරගැසූ අවස්ථාවක් ඇත්නම් ඒ මේ අවස්ථාව පමණක්ම විය හැකි යැයි මට සිතේ….

ඔහු පැවසුවේ මෙතරම් අසීරුවෙන් කරන මෙම මෙහෙයුමේ,
යම් තත්පරයක ප්‍රමාදයක් වුවහොත් එය රටක අනාගතය සම්පූර්ණයෙන්ම උඩු යටි කරන සිද්ධියක් විය හැකි නිසා හැම තත්පරයක්ම රත්තරන් මෙන් වටිනා ලෙස සිතාගෙන තමන් එම මොහොතේ කටයුතු කළ බවයි..
ගුවන්තොටුපල වෙතට ලොරි රථ වලින් ආයුධ ගෙන ඒම ප්‍රමාද වෙන විටද තමන් බලවත් පීඩනයකින් එම කාලය ගත කළ බව මේජර් ජෙනරාල් කරුණාරත්න පවසයි….
මෙම එක රොකට් එකක FOB මිල ඇමෙරිකානු ඩොලර් 325 ක් වන අතර එම MBRL යන්ත්‍රයෙන් එකවර රොකට් 40 ක් නිකුත්වේ..

අද ඩොලර් එකක මිල අනුවනම් එවැනි එක යන්ත්‍රයකින් එකවරක් එල්ල කරන ප්‍රහාරයක් සඳහා රුපියල් 3’900’000./= මුදලක් වැයවේ..
මේ සියල්ල සිදු වූයේ පසුගිය වසර 75 තුළ බවද අප මතක තබා ගත යුතුය..
පළමු ගුවන් යානය පිටත් වී ගියත් ඒ නියමිත වේලාවේදී ශ්‍රී ලංකාවට ගොඩබෑවේ නැත..
එය තවත් බලවත් ගැටලුවක් විය..
පසුව හෙළි වූයේ එම ගුවන් යානය ඉන්ධන පුරවා ගැනීම සඳහා අසර්බයිජානය වෙත ගොඩබෑමෙන් පසුව එම ප්‍රදේශයේ ඇතිවූ දැඩි කාලගුණ විපර්යාස තත්ත්වයක් නිසා නැවත ගුවන් ගත කිරීමේ දී එම බර රැගෙන ගුවන් ගතවීමේ අපහසුතාවයක් ඇතිවූ බවයි..

දෙවන ගුවන් යානයට ද තවත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය..
නියමුවන් කෙටි ගුවන් මගක් අනුගමනය කිරීමට ගත් උත්සාහයකදී වෙනත් රටක් උඩින් පියාසර කරන යානය එම රටේ ගුවන් හමුදා යානා දෙකක් විසින් බලහත්කාරයෙන් ගොඩ බස් වනු ලැබීය.
අනතුරුව එහි ආයුධ ඇති බව දැනගත්විට නැවත ගුවන් ගත කිරීම තවත් ප්‍රමාද විය..
අදාල රටේ ශ්‍රී ලංකා තානාපතිවරයා බලවත් ලෙස මැදිහත්වීමෙන් අනතුරුව එය මුදා හරිනු ලැබිණි..
එම ගුවන් යානාවලට ද පලාලි වෙත ගමන් කළ නොහැකි බවත් ,
ඒ වෙනවිට ගුවන්තොටුපළ ආසන්නයට එල්ටීටීඊ කාල තුවක්කු ප්‍රහාර එල්ල වීම ඇරඹී තිබුණ නිසා,
කටුනායකට යන ලෙසටත් උපදෙස් ලැබිණි…
තුන්වෙනි ගුවන් යානය පළමු ගුවන් යානා දෙකට කලින් ශ්‍රී ලංකාව වෙත කටුනායකට ළඟා විය..
කටුනායක සිට ට්‍රක් රථ මාර්ගයෙන් කොළඹ වරායට ගේමට බලාපොරොත්තු වූ මෙම යන්ත්‍ර සහ රොකට් අනතුරුව නැව් මගින් කන්කසන්තුරේ වෙත එදිනම ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු විය..
මේජර් ජෙනරාල් කරුණාරන්න පවසන්නේ අවාසනාවකට මෙන් වෙළඳ නෞකා කපිතාන් වරුන් කිසිවෙක් මෙම ආයුධ රැගෙන උතුර බලා යාත්‍රා කිරීමට අකමැති වූ බවයි..
ඔහු පවසන්නේ ඩෙරික් ධර්මකාත් නමැති ද්‍රවිඩ ජාතික කපිතාන්වරයා පමණක් සිය වෙළඳ නෞකාවේ එම ආයුධ උතුරට ගෙනයාමට නිර්භීතව ඉදිරිපත් වූ බවයි..
පසුගියදා ජීවිතෙන් සමුගත් ඒ විශිෂ්ට ශ්‍රී ලාංකිකයාට ගෞරවයක් වශයෙන් ඔහුගේ නම සඳහන් කරන යුතුම බව මේජර් ජෙනරල් සනත් කරුණාරත්න පැවසුවා..
පාකිස්ථාන ජාතික කාන්තාවක් සමග විවාහ වී සිටි ඔහු ඉතාමත් සුහද ප්‍රසන්න පුද්ගලයෙක් බවද ජනරාල්වරයා පැවසුවා..

උතුරට සැපයූ එම අවි ප්‍රභාකරන්ගේ බිහිසුණු නොනවතින රැල්ල ආපසු හැරවීමට විශාල දායකත්වයක් දුන්නේය..
උතුරට ළඟා වූ මොහොතේම ක්‍රියාත්මක කිරීම ඇරඹූ
MBRL මල්ටි බැරල් රොකට් ලෝන්චර් ප්‍රභාකරන් සහ ඔහුගේ කණ්ඩායම ආපසු හරවනු ලැබුණි..
ඔවුන්ට විශාල හානියක් සිදුකරමින් උතුර අල්ලා ගැනීමට ඔවුන්ගේ තිබූ බලාපොරොත්තු සුණු විසුණු කර දැමිණි..

එතෙක් , එම අවි ලැබෙන තෙක්, උතුර රැක ගැනීමට අපේ විරෝධාර සෙනෙවියන් සෙබලුන් එදා ජීවිත පූජාවෙන් කළ සටන මරණය පෙනි පෙනී කළ සටන ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවිය යුතුය…
මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න සහ කර්නල් නියෝමාල් නිකහැල්ල,
මේ රටේ තීරණාත්මක මොහොතක ඔවුන්ට භාර දුන් මෙහෙයුම ,
උපන් බිමෙන් බොහෝ ඈත රටක නාඳුනන පිරිස් මැද ගත කරමින් ,
ඉතාමත් කෙටි කාලයකින්, නියමිත කාලසීමාව තුළදී ඉටුකරදීම මේ රටේ ඉතිහාසය වෙනස් කිරීමට තරම් හේතුවක් වූ ඓතිහාසික මෙහෙයුමක් ලෙස මා විශ්වාස කරමි..
ශ්‍රී ලංකාවෙන් පිටත් වී දින දහයක පමණ කාලයක් තුළ මෙම ආයුධ තොගය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ,
බොහෝ දුරු රටකට ගොස් සියලුම අවශ්‍ය කටයුතු කළමනාකරණය කර ගනිමින් කරනු ලැබූ මේ කටයුත්ත මම හිතන්නේ සැබවින්ම super mission එකකි..
විශේෂයෙන්ම යාපනය අල්ලාගෙන සන්නද්ධ හමුදාවලට දැවැන්ත විනාශයක් කර ප්‍රභාකරන් බලාපොරොත්තු එල්ටීටීඊ ජයග්‍රහණය වළක්වන දැවැන්ත ප්‍රබල අවියක් ,
ලොව පුරා පැතිරුණු පොට්ටු අම්මාන්ගේ ටොසී ඔත්තු සේවයට හොරෙන් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඔවුන්ට පහර වදින තෙක් ඔවුන් දැනගත්තේ නැත..
කලින් කිව් පරිදි මෙය Super Mission යැයි සිතෙන්නේ ඒ නිසාය…
එවන් දෙයක් කිරීම ලෙහෙසු පහසු කටයුත්තක් නොවේ…
එමෙන්ම ඒ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරිය වශයෙන් සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් ,
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කර්නල් අනුරුද්ධ රත්වත්තේ මහතාත්,
මේ කටයුත්තට අවශ්‍යය රාජ්‍ය නායකත්වය දීමේදී කටයුතු කළ ආකාරයද ප්‍රශංසනීය බව සඳහන් කළ යුතුයි..
එමෙන්ම කර්නල් නියෝමල් නිකහැටියගේ ඡායාරූපයක් මට සොයා ගැනීමට හැකි වූයේ නැහැ.. කවුරුන් හෝ ළඟ තිබෙනවා නම් ඒ ඡායාරූපයද මේ පෝස්ට් එකට අවශ්‍යම එකක්.

ඊයේ මල්ටි බැරල් රොකට් ලෝන්චර් පිළිබඳව ,
අතීතයේ දිවයින පුවත්පතේ තිබුණු ලිපියක් උපුටා දැක්වීමින් මම තැබූ සටහනක් දැක මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න දුරකථනයෙන් කතා කරමින් කියූ විස්තරය ඉක්මනින්ම ඔබටද දැනගන්නට සටහන් කළ යුතු යැයි මම සිතුවා..

සිය ජීවිතයේ හැත්තෑවේ දශකය ගත කරමින් සිටින ඒ විරෝධාර සෙනෙවියාට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා..


…. ලාල් ද අල්විස්….

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *