රසාංග ද සිල්වා මහත්තයා පදිංචි කොළඹ, පෑලියගොඩ. සුරතලේට බලු යාළුවෝ කීපයක්ම හදාවඩාගන්න ඔහු ළඟ හරි අපූරු වැඩක් කරන බලු කොල්ලෙක් ඉන්නවා කියලා පසුගිය දවසක අපිට ආරංචි වුණා. ඉතින් අන්න ඒ බලු කොල්ලව හොයාගෙන පසුගිය බ්‍රහස්පතින්දා අපි රසාංග ද සිල්වා මහත්තයාගේ ගෙදර ගියා. ඒ යනකොටත් ඔහු තමන්ගේ යාළුවෝ ටිකත් වට කරගෙන බර කතාබහක.
“මගේ ගෙදර බලු යාළුවෝ 11ක් ඉන්නවා. ඒ අය අතරින් මහත්තයලා හොයාගන එන්න ඇත්තේ අන්න අරයා වෙන්න ඇති.”
රසාංග මහත්තයා එහෙම කිව්වේ, අනවසරයෙන් ගෙදරට ආවේ කවුද බලන්න වගේ හරි අමුතු බැල්මකින් අපි දිහා බලාගෙන උන්නු ලෝම පිරුනු Shihtzu වර්ගයේ සුනඛයෙක් පෙන්නලා.
“ ‘ඉතාන් බෝයි’ කියන්නේ එයාද?”
ඒකට රසාංග මහත්තයාගේ උත්තරය වුණේ “ඔව්” කියන එක. එතකොට කවුද මේ ඉතාන් බෝයි? අන්න ඒ කතාවයි මෙතැන් සිට අපි ඔබට කියන්නේ.
ඉතාන් බෝයි කියන්නේ මේ වෙනකොට අවුරුදු 4ක් වයස හරිම කඩවසම් බලු කොල්ලෙක්. ඒ වගේම තමයි ඉතාන් බෝයි හරි ආඩම්බරකාරයෙක්. මොකද කොල්ලගේ උපන් රට කවුරුත් දන්න කියන පුටින් මහත්තයාගේ රුසියාවලුනේ.
“ඉතාන්ව මං මෙහෙට ගෙන්නනකොට ඉපදිලා මාස 4ක් වගේ ඇති. ගේනකොටත් හරි ලස්සන කොල්ලා. ඒ නිසා මං ඉඩ ලැබුණු හැටියේ කළේ ඉතාන්ගේ ෆොටෝස් අරන් ෆේස්බුක් පළකරපු එක. වැඩේ කියන්නේ අනෙක් අය වගේ නෙවෙයි මෙයා ෆොටෝස්වලට හරි උනන්දුයි. ඒ කියන්නේ ෆෝන් එක අරන් ෆොටෝස් ගන්න ලෑස්තිවෙද්දි මෙයා දන්නවා මං කරන්න යන දේ. එතකොටම එයා දැනුම් තේරුම් තියෙන මනුස්සයෙක් වගේ හරි අපූරුවට ෆෝටෝස්වලට ඉන්නවා. ඒ නිසා ඒ ෆොටෝස්වලට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. මාත් ඒකට සතුටු හිතිලා දිගටම ඉතාන්ගේ ෆොටෝස් ෆේස්බුක් පළකළා.”
ඒකෙන් මේකෙන් ඉතාන් බෝයි ෆේස්බුක් එකේ ජනප්‍රිය චරිතයක් වෙලා. කොටින්ම බලු කොල්ලව හදාගන්න පවා සමහරු ඉල්ලලා. ඒත් රසාංග මහත්තයා කවුරු දුන්නත් ඉතාන් දෙන්න නම් කැමතිවෙලා නෑ.
“ඔය අතරේ දවසක් එක ඡායාරූප ශිල්පියෙක් මට කෝල් කළා. කෝල් කරලා ඇහුවා එයාගේ ෆොටෝ ශූට් එකකට ඉතාන් බෝයි අරගන්න පුළුවන් ද කියලා. මෙයත් ෆොටෝස් ගහන වැඩවලට කැමති හින්දා මං කැමති වුණා. ඒකට මට යම්කිසි මුදලකුත් ලැබුණා.”
අන්න ඒ මුදල අතට ගත්ත දවසේ තමයි රසාංග මහත්තයාට හරි අපූරු අදහසක් පහල වෙලා තියෙන්නේ.
“මම බෞද්ධ. අපේ ආගමේ සඳහන් වෙනවනේ කෙනෙක්ගේ උත්පත්තියට පහුගිය ආත්මවල අපි කරගත්ත ඒ ඒ කුසල් අකුසල් බලපානවා කියලා. ඒක නිසා මට හිතුණා මේ ආත්මභවයේ තිරිසන් ආත්මයක් ලැබිලා ඉන්න ඉතාන්, මතු උපදින ආත්මයක තිරිසන් ආත්මෙන් මිදිලා ඊට වඩා හොඳ ආත්මයක ඉපදෙන්න කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අර මුදලින් ඉතාන්ගේ නමින් පින් අතේ වැඩක් කරන්න.”
එහෙම හිතපු රසාංග මහත්තයා ඉතාන් ෆොටෝ ශුට් එකට පෙනී ඉඳලා ලැබුණු මුදලින් ආබාධිත කාන්තාවක් වෙනුවෙන් රෝද පුටුවක් අරන් පරිත්‍යාග කරලා.
“කොහොමහරි ඒ ෆොටෝ ශූට් එකෙන් පස්සේ මෙයාව ෆොටෝ ශූට්ස්වලට වගේම මොඩ්ලින් වැඩවලට දිගින් දිගටම ඉල්ලන්න ගත්තා. මම ඉතාන්ව ඒ වැඩවලට එක්ක ගියා. ඒ වැඩවලින් ලැබෙන මුදලින් පොඩි කොටසක් ඉතාන්ගේ සහ අනෙක් සතුන්ගේ කෑමබීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් තියාගෙන ඉතිරිය ඉතාන් වෙනුවෙන් පින් අතේ වැඩවලට යෙදෙව්වා. දැන් වසර කීපයක ඉඳන් මං ඒ කටයුත්ත සිදුකරගෙන යනවා.”
මේ වෙනකොට ඉතාන් බෝයි නිසා ලැබුණු මුදල්වලින් රසාංග මහත්තයා සරණක් අවැසි බොහෝදෙනෙක්ට සරණක් වෙලා තියෙනවලු.
“මං ඇවිදින්න අපහසු අයට රෝද පුටු, අත්වාරු එහෙම බොහෝ ප්‍රමාණයක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ වගේම ඇස් පෙනීම දුර්වල අයට ඇස් කණ්ණාඩි ලබාදීම සිදුකරනවා. තව පාසල් දරුවන්ටත් ඒ මුදල්වලින් බොහෝ උදව් උපකාර කරලා තියෙනවා. මේ කිව්වේ ඉතාන් නමින් මම කරපු පින්කම්වලින් කීපයක් විතරයි.”
ඉතාන් බෝයිගේ හතරවැනි උපන්දිනයට කැලණිය රජමහා විහාරය වැඳපුදාගන්න එන බැතිමතුන් වෙනුවෙන් ඉතාන් එක්ක නෙළුම් මල් දන්සැලක් දුන් බවත් රසාංග මහත්තයා අපි එක්ක කිව්වා. ඒ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ.
“මං දැකලා තියෙනවා ඒ වගේ දවස්වලට ගොඩාක් අය කරන්නේ කේක් එහෙම කපන එක. ඒත් මං එතැනදිත් කෙරුවේ ඉතාන් වෙනුවෙන් පින් රැස්කරවපු එක. එදා නෙළුම් මල් 2000 ක දන්සැලක් දුන්නේ. ඒකට ගත්තෙත් ඉතාන් බෝයි නිරූපණ වැඩවලට ගිහින් ලැබුණු මුදල්වලින් කොටසක්.”
*ඉතාන්ට දැන් කැමරාව හොඳට හුරු ඇති නේද?
“(සිනාසෙමින්) ඔව් හුරුයි. මේ මෑතකදි මට එක ඡායාරූප ශිල්පියෙක් කිව්වා ඔයාගේ කොල්ලා සමහරක් මොඩ්ල්ස්ලට වඩා හොඳට කැමරාවට පෝස් කරනවා කියලා.”
රසාංග මහත්තයා කියපු විදියට නම් අපේ රටේ ඉන්න සමහරක් ප්‍රසිද්ධ නළු නිළියෝ වැඩි හරියක්ම මේ වෙද්දි ඉතාන්ගේ හොඳ යාළුවොලු.
“ඉතාන් එක්ක ප්‍රසිද්ධ නළු නිළියෝ හුඟාක් අය වැඩ කරලා තියෙනවා. මේ මෑතකදි ගයත්‍රි ඩයස් මහත්මිය එක්ක ෆොටෝ ශූට් එකක් කළා. තව පියුමාලි එදිරිසිංහ එක්කත් කළා. මට වැඩිය නම් මතක නෑ මහත්තයෝ…”
මේ වෙනකොට ඉතාන් කියන්නේ සම්මානලාභී බලු කොල්ලෙක් කිව්වොත් සමහරවිට ඔබට පුදුමත් හිතෙයි. හැබැයි ඇත්තත් ඒකයි. මොකද රසාංග මහත්තයා කියපු විදියට ඉතාන් බෝයිට සම්මාන කීපයක්ම වගේ ලැබිලා තියෙනවා.
“Asian Achievers Awards 2025 හොඳම පුහුණු සුරතලාට හිමි Popular Trained Pet සම්මානය ලැබුණේ ඉතාන්ට. ඒ වගේම මේ වසරේ Popular Pet Model Awards කියලා තවත් සම්මානයක් ලැබුණා. Excellence in Charity Work of the Year කියලත් සම්මානයක් ලැබුණා. ඇත්තම කීවොත් සම්මානවලින් නම් මගේ කොල්ලට අඩුවක් නෑ.”
ඉතින් රුසියාවේ ඉපදිලා ලංකාවට ඇවිත් මොඩ්ලින් කරලා හොයාගන්න මුදලින් පින්කම් කරන බලු කොල්ලගේ කතාව ඔහොමයි. තව දෙයක්. ඉතාන්ගේ පස්වැනි උපන්දිනය යෙදිලා තියෙන්නේ එළැඹෙන ජනවාරි 15 වැනිදට. ඉතින් ඒ වෙනුවෙන් රසාංග මහත්තයා මේ වෙනකොට හිතාගෙන ඉන්නේ පසුගිය දවස්වල අපේ රටට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වුණු උදවිය ගැන හිතලා ඔවුන් වෙනුවෙන් දෙරණ නාලිකාව සිදුකරගෙන යන මනුසත් දෙරණට ඉතාන් හොයපු මුදල්වලින් යමක් කොටසක් පරිත්‍යාග කරන්නලු. ඉතින් ඉතාන් වෙනුවෙන් එක් රැස්වෙන ඒ කුසල්වල පිහිටෙන් මේ ඉතාන්ගේ අවසන් තිරිසන් ආත්මය වේවා කියන එක තමයි අපෙත් ප්‍රාර්ථනය…
රුවන් එස්.සෙනවිරත්න







