BREAKING NEWS
Search

ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදුබත් කල ඉරාන නෞකාව ගැන ට්‍රම්ප් කී කතාව මෙන්න

851

 

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේදී විනාශ කරනු ලැබූ ඉරාන යුද නෞකාව සම්බන්ධයෙන් තමන් හමුදා නායකයින්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බව Donald Trump ප්‍රකාශ කර තිබේ.

එම අදහස් ඔහු පළ කර තිබුණේ ඇමරිකාවේ Kentucky ප්‍රාන්තයේ පැවති ජන රැලියක් අමතමින්ය. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ ඉරාන නෞකාව විනාශ කිරීම වෙනුවට එය අත්පත් කර ගැනීමට නොහැකි වූයේ ඇයිදැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවයි.

“අපි ඇයි ඔවුන්ව විනාශ කළේ? ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?” යනුවෙන් තමන් ප්‍රශ්න කළ බවද ට්‍රම්ප් පවසා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් එක් හමුදා ජෙනරාල්වරයෙකු පවසා ඇත්තේ, නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය විනාශ කිරීම වඩාත් සුදුසු බවයි. එය “සර්, එය වඩාත් විනෝදජනකයි” යනුවෙන්ද ඔහු පැවසූ බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඇමරිකානු සබ්මැරීනයකින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් IRIS Dena නම් ඉරාන නාවික හමුදාවට අයත් Frigate වර්ගයේ යුද නෞකාව ගිල්වා දමා තිබුණි.

එම ප්‍රහාරයෙන් නාවිකයින් 104 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලැබූ බවද වාර්තා වෙයි.

මේ අතර, ඉරානයට එල්ල කරන හමුදා ක්‍රියාමාර්ග තවමත් අවසන් වී නොමැති බවද Donald Trump සඳහන් කර ඇත.

ධවල මන්දිරය ඉදිරිපිට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු පවසා ඇත්තේ, ඉතිහාසයේ ඕනෑම රටකට එල්ල කළ ප්‍රහාරවලට වඩා දැඩි ලෙස ඇමරිකාව ඉරානයට පහරදී ඇති බවයි.

එම ප්‍රහාර හේතුවෙන් ඉරානයට ඔවුන්ගේ නාවික හමුදාව, ගුවන් හමුදාව, ගුවන් යානා නාශක පද්ධති සහ රේඩාර් පද්ධති බරපතළ ලෙස අහිමි වී ඇති බවද, එමෙන්ම ඔවුන්ගේ ප්‍රධාන නායකයන් කිහිප දෙනෙකු ද අහිමි වී ඇති බවද ට්‍රම්ප් පෙන්වා දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!