පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ඉටු කිරීමට මිස රජය හෝ තමා ලාභ ලැබීමේ අරමුණින් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ පවතින අවිනිශ්චිතතාවයන් හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව දිසානායක මහතා පෙන්වා දෙයි.
තමා තෙල් ළිඳක අයිතිකරුවෙකු හෝ තෙල් සමාගමක නියෝජිතයෙකු නොවන බවත්, මිල වැඩි කිරීම හරහා පෞද්ගලික ලාභ ලැබීමේ පරමාර්ථයක් තමාට නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“මට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් හැටියට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සැපයීමට” යනුවෙන් පවසමින් ඔහු කියා සිටියේ ඉදිරි මාස දෙකක කාලය තුළ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට රජය උපරිමයෙන් කැපවන බවයි.
මාර්තු මාසය ආරම්භයේදී ඩොලර් 70ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 100 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් භාණ්ඩ හා සේවා සැපයුම් මාර්ගවලට බාධා පැමිණ ඇති අතර, රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ ටෙන්ඩර් අවලංගු වීම වැනි කරුණු නිසා තෙල් වෙළඳපොළ දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇත.
2022 වසරේ පැවති අර්බුදයට වඩා වත්මන් තත්ත්වය වෙනස් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.2ක විදේශ සංචිත පවතින බව ප්‍රකාශ කළේය. එබැවින් තෙල් මිලදී ගැනීමට ඩොලර් නොමැති වීමේ ප්‍රශ්නයක් වර්තමානයේ පැන නොනගින බවත්, අර්බුදයක් ඇති වුවහොත් එය සැපයුම් මාර්ගවල ඇති වන බාධාවන් නිසා සිදුවන්නක් බවත් ඔහු පැහැදිලි කළේය.
තෙල් මිලෙහි සිදුවන සුළු වෙනස්වීම් හමුවේ පවා ජනතාව අනියත බියක් ඇති කර ගනිමින් ඉන්ධන රැස් කිරීමට පෙළඹී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. උදාහරණයක් ලෙස මාර්තු 1 වනදා කිලෝලීටර් 4,500ක්ව පැවති ඩීසල් අලෙවිය මාර්තු 3 වනදා වන විට කිලෝලීටර් 10,500 දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට නම් ජනතාව තම පරිභෝජන රටාවන්හි යම් වෙනසක් සිදු කරමින් සංයමයකින් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය
Lanka C News







