BREAKING NEWS
Search

පළාත් සභා වහා පවත්වනු.. ඉන්දියාව දැනුම් දෙයි..

569

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට කඩිනම් පියවර ගන්නැයි ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත නැවත වරක් දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතත්වය ලබා දීම සඳහා මෙම මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පැවැත්වීමේ අවශ්‍යතාව ඉන්දීය පාර්ශවය අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීද, එරට ප්‍රධානීන් විසින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කර ඇති බව කියැවේ.

ඉන්දියාවේ ප්‍රාන්ත සභා ක්‍රමය ආදර්ශයට ගනිමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් අතර, එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද නැවත අවධානය යොමු වී තිබේ.

මේ අතර, පළාත් සභා මැතිවරණය සඳහා භාවිත කළ යුතු ඡන්ද ක්‍රමය පිළිබඳ නිර්දේශ සකස් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේ රැස්වීමට නියමිතය.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාවේදී ඡන්ද ක්‍රමය පිළිබඳ ඉක්මන් තීරණයක් ගැනීමට හැකි වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

දිවයිනේ පළාත් සභා නවයේම නිල කාලය අවසන් වී මේ වන විට දශකයකට අධික කාලයක් ගත වී ඇති අතර, එම සභා සියල්ලේ පරිපාලන කටයුතු දැනට සිදු වන්නේ අදාළ ආණ්ඩුකාරවරුන් යටතේය.

ඒ අනුව, දිගුකාලීන ප්‍රමාදයකින් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ දේශපාලන වශයෙන් නැවත උණුසුම් අවධානයක් යොමු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!