ඉන්දියාවේ ප්‍රකට අධ්‍යාත්මික නායකයෙකු වන ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ්, දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
අයෝධ්‍යාවේ ශ්‍රී පංච අග්නි අඛාඩා ප්‍රධානී මහාමණ්ඩලේෂ්වර් ලෙස කටයුතු කරන මෙම අධ්‍යාත්මික නායකයා, මහා කුම්භ මේලා උත්සවයට සම්බන්ධ ප්‍රමුඛ ආගමික චරිතයක් ලෙස ද ප්‍රසිද්ධය. ඔහු, ගිහි සහ පැවිදි නියෝජිතයන් 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමඟ පෙරවරුවේ මෙරටට පැමිණ ඇත.
මෙම සංචාරය අතරතුර, නුවරඑළිය, යාපනය සහ ත්‍රිකුණාමලය ඇතුළු ආගමික හා ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමට ද ඔවුන් සැලසුම් කර ඇත.
අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, මෙවැනි සංචාරයන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවයි. එමෙන්ම, දෙරටේ ජනතාව අතර ආත්මීය සබඳතා වර්ධනය කිරීමත්, ආගමික හා සංස්කෘතික සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමටත් මෙවැනි වැඩසටහන් වැදගත් වන බව ද ඔහු පැවසීය.
තවද, ඉන්දීය බැතිමතුන් අතර ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සහ උරුමයන් මත පදනම් වූ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද මෙම සංචාරය හොඳ අවස්ථාවක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.(Ape Rata)








