ආපදාව සැලකිල්ලට ගෙන අය – වැය යළි සංශෝධනයට ලක්කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පක්ෂ සංවිධායකවරුන් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පෙරේදා (03) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ඒ මහතා මෙසේද කීවේය.
කැබ් ගැනීම වෙනුවට ජන ජීවිතය වගේම ගම්බිම් නඟාසිටුවීමට මුදල් යෙදවීමට සිදුව තිබෙනවා. එම නිසා අය – වැය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි.
ආණ්ඩුව මේ අය – වැය ගැන නැවත වතාවක් අවධානය යොමු කළ යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී පවා අපි අවධානය යොමු කරනවා. පසුගිය අය – වැයෙත් සියයට පනහක්වත් බිම් මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ නැහැ. කොපමණ මුදල් වෙන් කළත් ඒවා වියදම් නොකළොත් විශාල ප්‍රශ්නයක්. මේ ආපදා තත්ත්වය නිසා හානි වූ පාරවල්, නිවාස, රෝහල් කඩිනමින් යථා තත්ත්වයට පත්කළේ නැතිනම් ඒවා ජන ජීවිතයට විශාල වශයෙන් බලපානවා. ආණ්ඩුව සුපුරුදු මන්දගාමී ස්වරූපයෙන් සංවර්ධනය දිහා බැලුවොත් ඊළඟ වසරේදීත් ජනතාවට දැඩි පීඩාවකට ලක්වෙන්න වෙනවා.
නුවන් කොඩිකාර
Source – Dinamina







