ඉරානයේ South Pars ගෑස් නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් කටාර්හි Ras Laffan කාර්මික කලාපයට ප්‍රහාරයක් එල්ල කළ අතර, එය ලොව විශාලතම ද්‍රව ස්වභාවික වායු (LNG) පිරිසැකසුම් මධ්‍යස්ථානය පිහිටි ස්ථානයයි.
තදබල වචන භාවිතා කරමින් නිකුත් කළ මෙම ප්‍රකාශයේ ට්‍රම්ප් පවසන්නේ, ඊශ්‍රායලයේ මෙම ප්‍රහාරය පිළිබඳව අමෙරිකාව “කිසිවක් දැන සිටියේ නැති” බවයි.
තවද ඉරානය නැවතත් කටාර් රාජ්‍යයට පහර දුන්නොත් දැවැන්ත හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටද ඔහු අනතුරු අඟවා තිබෙනවා.
“එක්සත් ජනපදය මෙම ප්‍රහාරය ගැන කිසිවක් දැන සිටියේ නැත. කටාර් රාජ්‍යය කිසිදු ආකාරයකින් මෙයට සම්බන්ධ නැති අතර, එවැනි දෙයක් සිදුවනු ඇතැයි ඔවුන්ට අදහසක්වත් තිබුණේ නැත.” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.
නමුත් ඉරානය මෙය දැන සිටියේ නැති බවත්, කටාර්හි Ras Laffan වෙත ඔවුන් එල්ල කළ ප්‍රතිප්‍රහාරය “අසාධාරණ සහ අයුක්ති සහගත” එකක් බවත්, ට්‍රම්ප් සඳහන් කරනවා.
ට්‍රම්ප් සිය ප්‍රකාශයේ අවධාරණය කර ඇත්තේ, ඉරානය නැවත වරක් කටාර් වැනි අහිංසක රටකට “නුවණට හුරු නොවන ලෙස” පහර දීමට තීරණය කළහොත් මිස, ඊශ්‍රායලය යළිත් ඉරානයේ South Pars ගෑස් නිධියට පහර නොදෙනු ඇති බවයි.
යම් හෙයකින් ඉරානය නැවත කටාර් වෙත ප්‍රහාරයක් එල්ල කළහොත්, අමෙරිකාව විසින් South Pars ගෑස් නිධිය මුළුමනින්ම “ඉරානය මීට පෙර කිසිදා දැක හෝ අත්විඳ නැති තරමේ ප්‍රබල ශක්තියකින් සහ බලයකින් පුපුරුවා හරින” බවට ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.
ඉරානයට එල්ල විය හැකි “දිගුකාලීන බලපෑම්” සැලකිල්ලට ගනිමින් මෙවැනි මට්ටමේ විනාශයකට අවසර දීමට තමන් අකමැති වුවද, “නැවත වරක් කටාර්හි LNG මධ්‍යස්ථානවලට පහර දුන්නොත්, එසේ කිරීමට තමන් පසුබට නොවන බව” ඔහු වැඩිදුරටත් කියා සිටියා.
_බීබීසී_







