අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ, වී මිල ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දීමට තව වසරක් හෝ දෙකක් ගත විය හැකි බවයි. ඒ සඳහා ප්‍රධාන හේතු වන්නේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තෙත වී මිලදී ගැනීමට රජයට හැකියාව නොමැති වීමයි. මේ හේතු නිසා පෞද්ගලික අංශය රුපියල් 75–85 අතර අඩු මිලකට වී මිලදී ගන්නා බව ඔහු පිළිගත්තේය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවීන්ට තම නිෂ්පාදනය වේලා ගබඩා කර තැබීමේ හැකියාව උදාකර ගැනීම සඳහා රජය සහ බැංකු පද්ධතිය ඒකාබද්ධව කටයුතු කරමින් 20–25 ක් පමණ කණ්ඩායම් සඳහා වී වේලන යන්ත්‍ර ලබා දීමට සැලසුම් කර බවයි. එමඟින් ගොවියාට වැඩි මිලකට තම නිෂ්පාදනය අලෙවි කළ හැකි අවස්ථාව උදා වනු ඇත.
කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අවස්ථාවෙන් පෙන්වා දෙන්නේ, නව තාක්ෂණ භාවිතයෙන් ගල් වැලි ඉවත් කර, ප්‍රමිතියෙන් යුතු සහල් වෙළඳපොළක් හඳුන්වා දීම සඳහා “ඩඩ්ලිලා” සහ “රත්නලා” වැනි ව්‍යාපාරිකයන් ගෘහණියන්ට විශාල පහසුවක් සැලසූ බවයි. ඒ සඳහා ඔවුන්ට ගෞරවයක් හිමි විය යුතු වුවත්, ගොවීන්ගේ නිෂ්පාදන වියදමට වඩා අඩු මිලකට වී මිලදී ගැනීම අසාධාරණ බවත්, එවැනි ව්‍යාපාරිකයන්ට පුරවැසි වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
“අපේ ගෙවල්වල තිබුණු නෑඹිලිය අයින් කළේ අම්මලා තාත්තලා නෙමෙයි, ඩඩ්ලිලා සහ රත්නලා වැනි ව්‍යාපාරිකයෝ. ඔවුන් නව තාක්ෂණය භාවිත කරමින් ගල් වැලි ඉවත් කළ, ප්‍රමිතියෙන් යුත් සහල් වෙළඳපොළට හඳුන්වා දීම හරහා ගෘහණියට විශාල පහසුවක් සැලසූවා” යැයි ඔහු පැවසීය.
ඔහු තවදුරටත් පැහැදිලි කළේ, මහා පරිමාණ සහල් මෝල් හිමියන් අසාධාරණ ලෙස මුදල් උපයා වාහන ලබාගෙන ඇතැයි පවසනවාට ඔහු පිළිතුරු නොදෙන බවයි. එම ව්‍යාපාරිකයන් විවිධ නිෂ්පාදන ක්‍රියාවලීන්, කර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රවල විවිධ ආයෝජන සිදු කරන පිරිසක් බවත්, කොළඹට පිටතින් අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවල මෙවැනි ව්‍යාපාරිකයන් බිහිවීම ගැන රජය සතුටු වන බවත් ඔහු අවධාරණය කළේය.
අවසන් වශයෙන්, රජය නොව, මෙම ව්‍යාපාරිකයන් විසින් රටට හඳුන්වා දුන් නව තාක්ෂණික ක්‍රමවලට ගෞරවයක් හිමි විය යුතු බවත්, එවැනි වගකීම් සහිත ව්‍යාපාරිකයන් ලෙස ගොවීන්ගේ නිෂ්පාදන වියදමට වඩා අඩු මිලකට වී මිලදී ගැනීම වැරදි බවත්, පුරවැසියන් ලෙස එවැනි අසාධාරණයකට ඔවුන් වග බලා ගත යුතු බවත් අමාත්‍ය ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.(Ape Rata)







