BREAKING NEWS
Search

ලංකාවේ ක්‍රීඩකයන් රැසක් බුකිකරුවන්ට ගොදුරු වෙලා – ‍පොලිසිය කියයි

1097

විදෙස් රටවල සංවිධානය කරන ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වන මෙරට ක්‍රීඩකයන් රැසක් මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතනවල ගොදුරු බවට පත්ව ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

එම තරගාවලි සඳහා අනුග්‍රාහකයන් ලෙසින් විවිධ අයුරින් පෙනී සිටින මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන මගින් මෙරට ඇතැම් ක්‍රීඩකයන් සූදුවට හුරුකරගෙන තිබෙන බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.

ක්‍රිකට් ඇතුළුව වෙනත් ඕනෑම ක්‍රීඩාවක නිරත ක්‍රීඩකයකු මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන සමග සෘජුව හෝ වක්‍රව සබඳතාවක් පැවැත්වීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් වන බැවින් ඒ පිළිබඳව තොරතුරු හෝ පැමිණිලි යොමු කරන ලෙස ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය දැනුම් දෙයි.

‘‘මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන රැසක් විදෙස් ක්‍රීඩා තරගාවලි සඳහා සම්බන්ධවී තිබෙනවා. එම තරගාවලි පැවැත්වෙන අතරතුර, එම ආයතන අන්තර්ජාලය ඔස්සේ දැවැන්ත ප්‍රචාරයන් සිදු කර ක්‍රීඩකයන් වෙනුවෙන් ඔට්ටු තබනවා. එම තරගාවලි පැවැත්වීමෙන් ලැබෙන ආදායමට වඩා විශාල මුදලක් ක්‍රීඩකයන් වෙනුවෙන් ඔට්ටු තබා උපයා ගන්නවා. මෙලෙස ඔට්ටු තැබීමේ ආයතන අතර පවතින තරගකාරිත්වය හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයන් සූදුවට හුරුවී තිබෙනවා. ඇතැම් ක්‍රීඩකයන් එවැනි ආයතන සමග සබඳතා පවත්වන බවටද තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳව අනාවරණය වන තොරතුරු මත විමර්ශන සිදුකරනවා’’ යැයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවැසීය.

‘‘මෙලෙස මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන විදෙස් රටවල ලියාපදිංචි කර තිබෙනවා. එම නිසා එවැනි ආයතනවලට එරෙහිව පියවර ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මෙරට යම් කිසි ක්‍රීඩකයකු එලෙස මුදලට ඔට්ටු අල්ලන ආයතනයක් සමග සම්බන්ධ වුවහොත් ඔහුට එරෙහිව විමර්ශනයක් කර නීතිපතිවරයාගේ උපදෙස් මත සෘජුවම මහාධිකරණය හමුවේ නඩු පැවරීය හැකියි. එවැනි සිද්ධියකට වරදකරු වන තැනැත්තෙකුට වසර 10 ක් දක්වා සිර දඬුවම් සහ දඩ මුදලක් පැනවිය හැකියි’’ යනුවෙන් ද එම ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

(aruna | ඉෂාර රත්නකාර)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!