අවුරුදු සිය ගණනක් පැරණි කඩොලාන වනසලා
සැකකරුවන් සොයා පොලීසියෙන් විමර්ශන
වනාතවිල්ලුව, රෙඩ්බානා කළපු තීරයේ තිබූ දැවැන්ත කඩොලාන පරිසරය කිසියම් පිරිසක් රහසේ වනසමින් ඇති බව පරිසරවේදීහු පවසති.
මෙලෙස වනසා ඇත්තේ වසර සියයකට ආසන්න දැවැන්ත කඩොලාන වෘක්ෂ සහිත පරිසර පද්ධතියකි. වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් කළපු තීරයක් වන රෙඩ්බානා කළපු ප්රදේශයේ පිහිටි මේ කඩොලාන පරිසර පද්ධති මෙලෙස සතියකට වැඩි කාලයක සිට කිසියම් සංවිධානාත්මක පිරිසක් කපා වනසමින් සිටින බව කියයි.
කිසිවකුටත් සැක නොසිතන ලෙස රෙඩ්බානා කළපු තීරයේ කළපුව දෙස සිට බලන අයකුට එය නොපෙනෙන ලෙස තීරුවක් ඉතිරි කරමින් ඇතුළත කොටස මෙලෙස දැවැන්ත කඩොලාන ශාක වනසා තිබේ. රෙඩ්බානා ආශ්රිතව වසර ගණනාවක් පුරා නිරන්තරයෙන් සිදුවන දැවැන්ත කඩොලාන වැනසීමේ කටයුත්ත හේතුවෙන් කළපුව ආසන්නයේ හා ඇතුළත ප්රදේශවල තිබූ කඩොලාන පද්ධති පොකුණු ඉස්සන් හා ලුණු සැකසීම වෙනුවෙන් වනසා ඇති ආකාරය දැකගත හැකිය.
ශ්‍රී ලංකාවේ කඩොලාන විශේෂ 21ක් අතරින් මේ කලාපයේ කඩොලාන විශේෂ 13කට ආසන්න වර්ග විහිදී ඇති කලාපයක් වෙයි.
එයින් මහ කඩොල්, කුඩා කඩොල්, මන්ඩා, දෑරිය යන විශේෂ බහුතරයක් මේ කලාපයේ විසිරීම වැඩි බවද කියයි.
ලෝකයේ වැඩිපුර ශ්‍රී ලංකාවේ කඩොලාන පද්ධති පිළිබඳව අවධානයෙන් සිටින සමයක මෙලෙස සංවිධානාත්මක පිරිසක් විසින් අදාළ පරිසර පද්ධති වනසා දැමීම බරපතළ ඛේදවාචකයක් බව පරිසරවේදීහු පවසති.
මේ පරිසර පද්ධතිය නිසි ලෙස වන සංරක්ෂණ නිලධාරීන් විසින් නිරන්තර අවධානය යොමු නොවීම මෙලෙස ජාවාරම්කරුවන්ට නිදහසේ මෙලෙස කඩොලාන වැනසීමට හේතු මතුකර ඇති බවද ජනතාව චෝදනා කරති.
ජනතාව පවසන්නේ පොකුණු ඉස්සන්ට දිගින් දිගටම මෙලෙස සැලසුම් සහගත අයුරින් කපා දැමීමෙන් පසු කිසිවකුටත් සැක නොසිතන ලෙස එම ශාක මුල් හා අනිකුත් කොටස් වළ දැමීමට ඇතැම් ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බව කියයි.
මේ ස්ථානයේ අදාළ විනාශය සැලවීමත් සමඟ ඒ ස්ථානයට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ජාතික ජන බලවේගය) අජිත් ගිහාන් මහතා මෙසේ පැවසීය.
“මෙවැනි විනාශ කරන පිරිසට එරෙහිව දැඩි නීතිය ක්රියාත්මක කිරීමට අපි පසුබට වෙන්නේ නැහැ. මොකද කඩොලාන කියන්නේ අපේ ජීවිතය වගේ. ඒ නිසා අපි පොලීසිය ඇතුළු අදාළ අංශ වෙත දන්වලා මේ විනාශය පිටුපස සිටින පිරිස සොයා ඔවුන්ට අදාළ නීතිය දැඩිව ක්රියාත්මක කරන්න කියලා.
ඉතිහාසය පුරාම අපි හඬ නැඟුවේ මෙවැනි විනාශ වළක්වන්න. එසේ තිබියදී තවමත් මේ ආකාරයට මෙවැනි විනාශ සිදුවෙනවානම් ඇත්තටම එය බරපතළ තත්ත්වයක්.
ඒ නිසා අපි හැම කෙනාටම කියනවා කිසිම ලෙසකින් කඩොලාන ඇතුළු පරිසර පද්ධතියට අත තියන්න එපා. එය ආරක්ෂා කරන්න කටයුතු කරන්නැයි කියනවා.
විනාශය සම්බන්ධව වනාතවිල්ලුව පොලීසියේ කණ්ඩායමක් මේ වන විට සිද්ධිය සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කළ විමසීමේදී පැවසීය.
පුත්තලම අතිරේක – හිරාන් ප්රියංකර ජයසිංහ
Source – Dinamina







