වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝගේ ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ෆැවියර් මාර්කානෝ තාබාතා ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
ජෙනරාල් මාර්කානෝ ඉවත් කිරීමේ නියෝගය නිකුත් කරන ලද්දේ එරට නව අන්තර්වාර ජනාධිපති ලෙස පත් වූ ඩෙල්සි රොඩ්රිගස් විසින් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ජනාධිපති ආරක්ෂක බලකාය යනු එරට රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සඳහා පත් කර ඇති විශේෂ හමුදා ඒකකයක්.
මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී වෙනිසියුලා පාර්ශ්වයට සිදු වූ මරණ 100ක් බව පැවසෙන අතර, මියගිය පිරිස අතර එම ආරක්ෂක බලකායේ සාමාජිකයන් ද සිටින බව විශ්වාස කෙරෙනවා.
මදුරෝගේ සමීපතම සගයෙකු ලෙස සැලකෙන නව අන්තර්වාර ජනපතිනිය මීට පෙර එරට උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළා.
මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් වෙනිසියුලාව පාලනය කරන බවත්, තමන් රොඩ්රිගස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
ලොව විශාලතම තෙල් සංචිත සහිත වෙනිසියුලාවේ තෙල් සම්බන්ධයෙන් ඇමරිකානු ඉල්ලීම්වලට රොඩ්රිගස් එකඟ නොවන්නේ නම්, ඇයට මදුරෝට වඩා දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ට්‍රම්ප් එහිදී අනතුරු ඇඟවූවා.
වෙනිසියුලාව ඇමරිකාවට තෙල් බැරල් මිලියන 50ක් දක්වා ලබා දෙනු ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා පැවසුවද, වෙනිසියුලානු අන්තර්වාර රජය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අන්තර්වාර ජනාධිපති ලෙස පත් කළ දින සිට රොඩ්රිගස්ගේ ප්‍රකාශයන් වරෙක දැඩි විරෝධයක් ද තවත් වරෙක සමගිශීලී ස්වරූපයක් ද ගෙන තිබෙනවා.
මදුරෝ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී පැහැර ගැනීමක් ලෙස ඇය හෙළා දුටු අතරම, සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සඳහා තම රජය ඇමරිකානු රජයට ආරාධනා කරන බව ද ඇය පැවසුවා.
ඇය රට පාලනය කරන ආකාරය සහ ඇගේ රජය තුළ යම් මතභේද පවතින්නේ ද යන්න පිළිබඳව වෙනිසියුලාව තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.







