BREAKING NEWS
Search

හිමිකරු අහිමි වූ පසු සිය සෙල්ලම් බෝනික්කා තුරුළු කරගෙන විදී සරන්නට වූ නිකී..!

3039

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් වැසියන්ට “නිකී” (Nikki) නම් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බැල්ලිය නුපුරුදු සතෙකු නොවීය. වයස්ගත වූවත් ඇය නිතරම සිය හිමිකරු සමග ඉතා සතුටින් මගතොට යන අයුරුත්, මුණගැසෙන ඕනෑම අයෙකුට සුහදව ප්‍රතිචාර දක්වන අයුරුත් ඔවුන් නිතර දුටුවේය. එහෙත් එක් දිනක නිකී කිසිවෙකුගේ සහයකින් තොරව හුදකලාව වීදි පුරා ඇවිද යන අයුරු දුටු අසල්වැසියන්ගේ හදවත් කම්පාවට පත් විය. පසුව අනාවරණය වූයේ නිකීගේ ආදරණීය හිමිකරු මියගොස් ඇති බවත්, ඉන් පසු ඇය හුදකලා වී ඇති බවත්ය.

සිය හිමිකරු අහිමි වීමේ දැඩි ශෝකය මධ්‍යයේ වුවද, නිකී තමන්ටම ආවේණික වූ සැනසීමක් සොයාගෙන තිබුණි. ඒ ඇය සිය මුවින් රඳවාගෙන සිටි විශාල ප්ලෂ් (Plush) වර්ගයේ සෙල්ලම් බෝනික්කෙකි. සාමාන්‍යයෙන් අතරමං වූ සුනඛයන් ආහාර සොයා යාමට පෙළඹුණත්, නිකී කොතැන ගියත් මෙම සෙල්ලම් බෝනික්කා අත්නොහැර රැගෙන යාමට වගබලා ගත්තාය. සත්ව සහන සේවා නිලධාරීන් පවසන පරිදි, එම සෙල්ලම් බෝනික්කා ඇයගේ ආරක්ෂාව සහ මානසික සහනය (Security blanket) ලෙස ඇය සලකා තිබේ. සති කිහිපයක් පුරා වීදිවල සැරිසැරූ ඇයට අසල්වැසියන් ආහාර පාන ලබා දුන් අතර, පසුව සත්ව මුදාගැනීමේ කණ්ඩායම් විසින් ඇයව ආරක්ෂිතව රැගෙන යන ලදී.

නිකීව මුදාගන්නා විටත් ඇය එම බෝනික්කා අත්හැරීමට අකමැති වූවාය. “Almost Home Animal Rescue League” වෙත ඇයව රැගෙන එන විට ඇයත්, ඇයගේ ආදරණීය බෝනික්කාත් ඉතා අපිරිසිදු වී තැනින් තැන ඉරී ගොස් තිබුණි. එහි සේවකයන් නිකීට ප්‍රතිකාර කරන අතරතුර, ඇයගේ සෙල්ලම් බෝනික්කා ද සෝදා, මැහුම් දමා අලුත් එකක් මෙන් සකස් කර ඇයට නැවත ලබා දුන්නේය. පසුව කරන ලද පරීක්ෂණවලදී නිකී හෘද පණුවන් (Heartworm) රෝගයෙන් පෙළෙන බව හඳුනා ගත් අතර, ඇය ඉතා දුර්වල තත්ත්වයේ පසු වූවාය. නිකීගේ මෙම සංවේදී කතාව අන්තර්ජාලය පුරා ප්‍රචාරය වීමත් සමග, ලොව පුරා සිටින ජනයා ඇය වෙත තවත් සෙල්ලම් බෝනික්කන් දහස් ගණනින් තැපැල් කිරීමට පටන් ගත්හ.

වසර 23ක සිය සේවා කාලය තුළ තමා දුටු මිහිරිම සුනඛයා නිකී බව ඇයව බේරාගත් ගේල් මොන්ට්ගොමරි මහත්මිය පවසන්නීය. වර්තමානය වන විට නිකී ඉතා කරුණාවන්ත තාවකාලික සුරැකුම් පවුලක් (Foster family) සමග ජීවත් වන අතර, ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලැබෙමින් පවතී. දැන් ඇය සතුව පෙරටත් වඩා සෙල්ලම් බෝනික්කන් රාශියක් ඇති අතර, වරක් හුදකලා වූ ඇයගේ ජීවිතය දැන් නැවතත් ආදරයෙන් සහ උණුසුමෙන් පිරී පවතී.

Copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!