BREAKING NEWS
Search

බීමතින් පොලිසියේ කලහ කළ NPP ප්‍රා.ස. මන්ත්‍රී අත්අඩංගුවට.

528

තම සොහොයුරෙකු නිදහස් කරන ලෙස ඉල්ලා බීමතින් පොලිස් ස්ථානයකට ගොස් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාවක් මත හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ, යටියල්පතාන ප්‍රදේශයේ පදිංචි සමන් උදයකුමාර නමැති අදාළ මන්ත්‍රීවරයා  (04) දින රාත්‍රියේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මන්ත්‍රීවරයාගේ සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබී ඇත්තේ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් ඔහුගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට තර්ජනය කර,

ඔවුන්ගේ රාජකාරියට බාධා කර, ඔවුන් පැමිණි යතුරුපැදියකට පහර දී අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. විදුලි බල මණ්ඩල සේවකයින් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ සිටින සිය සොහොයුරා බැලීම සඳහා ඊයේ රාත්‍රියේ පොලිස් ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, ඔහුව වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුගේ ජංගම දුරකතනයක් ද උදුරාගෙන ඇති බවට වාර්තා වේ.

සැකකරුවෙකු බලහත්කාරයෙන් මුදවා ගැනීමට උත්සාහ කිරීමේ වරදට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා, හිඟුරක්ගොඩ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී ඔහු මධ්‍යසාර භාවිත කර ඇති බවට වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී තිබේ. සැකකාර මන්ත්‍රීවරයා  (05) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!