ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක **නාමල් රාජපක්ෂ** මහතාට **Oxford Union** විසින් ලබා දුන් ආරාධිත දේශනය ආරක්ෂක හේතු මත පසු දිනයකට කල්දමන බව එම සංගමය නිවේදනය කර ඇත.
එම දේශනය නියමිත දිනයේ පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින Oxford Union සංගමය, සහභාගී වන පිරිසගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව පවසයි.
සංගමය සඳහන් කරන්නේ, එදින වැඩසටහන පැවැත්වීමේදී දැඩි ආරක්ෂක සහ මෙහෙයුම් අවදානම් පවතින බවයි. විශාල පරිමාණයේ විරෝධතා සහ බාධා කිරීම් සිදුවිය හැකි බවට විශ්වාසකටයුතු තොරතුරු ලැබී ඇති බවද එමඟින් නාමල් රාජපක්ෂ මහතාට දන්වා ඇත.
Oxford Union සංගමයේ සභාපතිනිය වන **Katherine Yang** විසින් යොමු කළ විද්‍යුත් පණිවුඩයක සඳහන් වූයේ, “අමුත්තන්, දේශකයන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය විධිවිධාන, පවතින අවදානම් තත්ත්වය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අසීරුය. එබැවින්, වැඩසටහන වඩාත් ආරක්ෂිතව පැවැත්විය හැකි අනාගත දිනයක් දක්වා කල්දමන තීරණයක් ගෙන ඇත,” යනුවෙනි.
නාමල් රාජපක්ෂ මහතා මේ වන විට **එක්සත් රාජධානිය** තුළ රැඳී සිටින අතර, **Cambridge Union** සහ Oxford Union යන සංගම් දෙකෙන්ම ලැබුණු ආරාධනා අනුව එම සංචාරය සිදු කරයි.
එසේම, දමිළ ඩයස්පෝරා කණ්ඩායම්වල දැඩි විරෝධතා හේතුවෙන් මෙම ආරාධිත දේශන කල්දමීමට සිදුව ඇති බවට වාර්තා වේ.(ape rata)







