BREAKING NEWS
Search

පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්ට ජීවිත කාලයටම ලැබෙන නව බලතල

858

සටහන |කැරොලයින් ඩේවිස්
පකිස්ථාන වාර්තාකරු, ඉස්ලාමාබාද්

පකිස්ථාන පාර්ලිමේන්තුව හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්ට නව බලතල සහ ජීවිත කාලය පුරාම අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් නිදහස් වීමේ මුක්තිය ලබා දීමට ඡන්දය ප්‍රකාශ කළ අතර, ඉන් රට ඒකාධිපති පාලනයකට ගෙන යා හැකි බව විචාරකයෝ පවසති.

ඉකුත් බ්‍රහස්පතින්දා අත්සන් කරන ලද 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ඉහළම අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි ද සැලකිය යුතු වෙනස්කම් සිදු කරනු ඇත.

මෙම සංශෝධනවලට පක්ෂපාතී පිරිස් පවසන්නේ ඒවා සන්නද්ධ හමුදාවන්ට පැහැදිලි බවක් සහ පරිපාලන ව්‍යුහයක් සපයන අතරම, අධිකරණවල ඇති නඩු ප්‍රමාදය අඩු කිරීමට ද උපකාරී වන බවය.

පකිස්ථාන හමුදාව දිගු කලක් තිස්සේ න්‍යෂ්ටික බලයෙන් යුත් පකිස්ථාන දේශපාලනයේ ප්‍රධාන බලවේගයක් වී ඇති අතර ඇතැම් විට කුමන්ත්‍රණ හරහා බලය ලබා ගැනීම සහ තවත් විටෙක තිරය පිටුපස සිට විවිධ සිදුවීම්වලට බලපෑම් කිරීමට කටයුතු කර ඇත.

 

ඉතිහාසය පුරාම, පකිස්ථානය සිවිල් ස්වයං පාලනයේ සිට ජෙනරාල් පර්වේස් මුෂාරෆ් සහ ජෙනරාල් සියා-උල්-හක් වැනි හමුදා නායකයින් යටතේ විවෘත පාලනය දක්වා දෝලනය වී ඇත. විශ්ලේෂකයින් මෙම සිවිල් සහ හමුදා බල මිශ්‍රණය “දෙමුහුන් පාලනය” ලෙස හඳුන්වයි. සමහරු මෙම සංශෝධනය දකින්නේ මෙම තුලනය හමුදාවට පක්ෂව වෙනස් වන ලකුණක් ලෙසයි.

 

“මට නම්, මෙම සංශෝධනය පකිස්ථානය දෙමුහුන් පද්ධතියකින් ඔබ්බට ගමන් කරන බවට මෙතෙක් ඇති පැහැදිලිම ලකුණයි,” වොෂින්ටනයේ විල්සන් මධ්‍යස්ථානයේ දකුණු ආසියානු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මයිකල් කුගල්මන් පවසයි.

“අපි මූලික වශයෙන් බලන්නේ සිවිල්-මිලිටරි අසමතුලිතතාවය හැකි තරම් අසමතුලිත වන තත්ත්වයක් දෙස.”

 

නවතම සංශෝධනයෙන් අදහස් වන්නේ 2022 නොවැම්බර් මාසයේ සිට හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ මුනීර්ට පකිස්ථානයේ නාවික හා ගුවන් හමුදාව පාලනය කිරීමේ බලය ද හිමි වන බවය.

 

ෆීල්ඩ් මාර්ෂල් ලෙස ඔහුගේ තනතුර සහ නිල ඇඳුම ජීවිතාන්තය දක්වා වන අතර, විශ්‍රාම ගැනීමෙන් පසුව පවා, අගමැතිගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් පවරන ලද රාජකාරි ඔහුට පැවරෙනු ඇත.

මේ හරහා ඔහුට ජීවත්ව සිටින තාක් මහජන ජීවිතයේ කැපී පෙනෙන කාර්යභාරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පනත් කෙටුම්පත ට පක්ෂව තර්ක ඉදිරිපත් කරන පිරිස් පවසන්නේ ඉන් පකිස්ථානයේ හමුදා විධාන ව්‍යුහය පැහැදිලි කරන බවයි.

පකිස්ථාන රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, මෙම වෙනස්කම් පකිස්ථාන ආරක්ෂාව නවීන යුද අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණවල කොටසක් යැයි අගමැති ෂෙබාස් ෂරීෆ් පැවසූ බවයි.

නමුත් ඇතැම් පුද්ගලයින් එය හමුදාවට බලය පැවරීමක් ලෙස සලකනු ලබයි.

පකිස්ථාන මානව හිමිකම් කොමිසමේ සම සභාපති සහ මාධ්‍යවේදී මුනිසේ ජහන්ගීර් පවසන්නේ “හමුදාව සහ සිවිල් පාලනය අතර සමතුලිතතාවයක් නොමැති,” බවය.

“ඔවුන් නැවතත් එම බලය ගතිකව හමුදාව දෙසට නැඹුරු කර ඇති අතර හමුදාවට පාලනයට යොමු වීමට අවශ්‍ය වූ අවස්ථාවක හමුදාව බලගන්වා තිබෙනවා.”

 

න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ රටේ දේශපාලනය තුළ පකිස්ථාන හමුදාව දිගු කලක් තිස්සේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇත

 

‘ක්‍රියා කිරීමට ස්වාධීන ඉඩක්’ නැහැ

දෙවන මතභේදාත්මක වෙනස වන්නේ අධිකරණය සහ ව්‍යවස්ථාදායකයයි.

සංශෝධනය මඟින් ව්‍යවස්ථාමය ගැටළු තීරණය කිරීම සඳහා නව ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් (FCC) නිර්මාණය කෙරේ. එහි පළමු අගවිනිසුරුවරයා සහ විනිසුරුවන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ.

“සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ක්‍රියාත්මක වන ආකාරය මෙමගින් ස්ථිරවම වෙනස් කරනවා,” ජහාන්ගීර් මහත්මිය පවසයි.

“විනිසුරුවරුන් සහ ව්‍යවස්ථාපිත විනිසුරු මණ්ඩල පත් කිරීම සඳහා තීරණ ගන්න විධායකයට දැන් වැඩි බලයක් හිමිවී තිබෙනවා. රාජ්‍යය මෙය පාලනය කරනවා නම්,
සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කරන්නේ කොහොමද?”

“අධිකරණය දැන් විධායකයට ඉතා කීකරුයි.” මාධ්‍යවේදිනියක් සහ විචාරකයෙකු වන අරිෆා නූර් පවසා සිටියි.

“පොදු එකඟතාවය වෙන්නේ අධිකරණයට දැන් ක්‍රියාත්මක වෙන්න කිසිදු ස්වාධීන ඉඩක් නැති වීමයි.”

 

සංශෝධනයට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාමය නඩු හසුරුවා ඇති අතර, එමඟින් අපරාධ සහ සිවිල් නඩු ප්‍රමාද විය. ව්‍යවස්ථාමය කටයුතු සඳහා වෙනම අධිකරණයක් නිර්මාණය කිරීම අධිකරණ ක්‍රියාවලිය පහසු කර ඇති බව ඇතැමුන් පවසයි.

 

ඇතැම් නීතිඥයින් මෙයට එකඟ වන නමුත්, කරච්චිහි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වන සලාහුදීන් අහමඩ් එයට එකඟ නොවේ. පකිස්ථානයේ විභාග වෙමින් පවතින නඩු අතරින් කල්ගත වන නඩු බොහොමයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු නොවන බව ඔහු පෙන්වා දෙයි.

“ඉලක්කය සැබවින්ම නඩු වේගවත් කිරීම නම්, අවධානය යොමු කළ යුත්තේ එම නඩු ප්‍රතිසංස්කරණය කරන එක පිළිබඳවයි ,” ඔහු පවසයි.

සංශෝධනය නීතියක් බවට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්විය.

“මම ආරක්ෂා කිරීමට දිවුරුම් දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් නැහැ,” විනිසුරු අතාර් මිනල්ලා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළේය.

අධිකරණය රජයේ පාලනය යටතට ගෙනැවිත් ඇති බවත්, 27 වන සංශෝධනය විසින් “ශ්‍රේෂ්ඨාධිකරණය කැබලිවලට බිඳ දමා” ඇති බවත් විනිසුරු මන්සූර් අලි ෂා පැවසීය.

ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් මෙම ඉල්ලා අස්වීම් පිළිබඳව පැවසුවේ “ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් ඔවුන්ට පැවති ඒකාධිකාරය සීමා කර ඇති නිසාත්, පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ඔප්පු කිරීමට උත්සාහ කර ඇති නිසාත්, ඔවුන්ගේ හෘදය සාක්ෂිය අවදි වී ඇති” බවයි.

දැන් විනිසුරුවරුන්ව ඔවුන්ගේ කැමැත්තෙන් තොරව විවිධ අධිකරණවලට මාරු කළ හැකිය. ඔවුන් එම ස්ථාන මාරු කිරීමට එකඟ නොවන්නේ නම්, විනිසුරුවරුන්ට අධිකරණ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර, ඔවුන් ස්ථාන මාරු නොවීමට හේතුව වලංගු නොවන බව පෙනී ගියහොත්, විනිසුරුවරයාට විශ්‍රාම යාමට සිදුවනු ඇත.

මීට පක්ෂව අදහස් දක්වන්නන් පවසන්නේ මේ හරහා රට පුරා අධිකරණවලට කාර්ය මණ්ඩල පත්කළ හැකි බවය, ඇතැම් අය බිය පළකරන්නේ ඒ හරහා විනිසුරුවන් බිය ගැන්වීමට එය භාවිතා කළ හැකි බවය.

“එක් පළාතකින් තවත් පළාතකට විනිසුරුවරයෙකු මාරු කිරීම හරහා රජයේ කැමැත්ත අනුගමනය කරන්න කියා ඔවුන්ට බලපෑම් සිදුකරනවා” අහමඩ් පවසයි. මේ හරහා පකිස්ථානයේ සමතුලිතතාවය ගැටළු සහගත තත්ත්වයට පත් කරනු ඇතැයි ඔහු බිය පළකරයි.
?

 

“අපේ අධිකරණය සමහර විට ඒකාධිපතියන් සමඟ එකට වැඩ කරලා තිබෙනවා, සමහර වෙලාවට රජයට අභියෝග කර තියෙනවා. ඔබ ජනතාවගේ ඒ බලාපොරොත්තුව සොරකම් කලොත්, මිනිසුන් වඩාත් නරක විකල්ප වෙත යොමු වෙන්න පුළුවන්,” ඔහු පවසයි.

 

“නොවිසඳුණු දුක් ගැනිවිලි සමාජ ස්ථාවරත්වයට අහිතකරයි” යන දේට කුගල්මන් ද එකඟ වේ.

“මේක ඒකාධිපතිවාදය පැත්තට ගමන් කිරීමක් විදිහට පෙන්නුම් කරනවා,”නූර් පවසයි. නව සංශෝධනය පසුගිය වසරේ 26 වන සංශෝධනය මත ගොඩනගා ඇති බවත්, එමඟින් නීති සම්පාදකයින්ට පකිස්ථානයේ ඉහළම විනිසුරුවරයා තෝරා ගැනීමට ඉඩ සලසන බවත්, 28 වන සංශෝධනයක් පිළිබඳ දැනටමත් කතාබහක් පවතින බවත් ඇය පවසයි.

“එයින් පෙන්නුම් කරන්නේ බල තුලනය රජයට දැඩි ලෙස පක්ෂව පවතින බවයි.”

(උපුටා ගැනීම | බීබීසී සිංහල )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *