රාගම පොලිස් වසමේ සතිපොළක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවසර දීම වෙනුවෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන රාගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පෙලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.
රාගම, රාම්පිටිය, කැටිගේවත්ත පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු රාගම සතිපොළ මධ්‍යයේ කුකුළු මස් අලෙවිසලක් පවත්වාගෙන යනු ලබන අතර, එම ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩදීම වෙනුවෙන් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් ව්‍යාපාරිකයාගෙන් සතියකට රුපියල් 5,000 බැගින් අල්ලස් මුදල් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
ඊට අදාළව සති දෙකක හිඟ මුදල ලෙස රුපියල් 10,000ක මුදලක් ලබාදීමට ව්‍යාපාරිකයා එකඟ වී ඇති අතර, සතිපොළ මධ්‍යයේදී එම මුදල ලබාදෙන අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු කොටු කරගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
අදාළ අල්ලස් මුදල ලබා ගැනීම සඳහා සැකකාර නිලධාරියා පැමිණ ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සමඟ රාගම නගරයේ රථ වාහන රාජකාරියේ නිරත වන බවට පොලිස් පොතේ සටහන් යොදා නිල යතුරුපැදියකින් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරනවා.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා 58 හැවිරිදි වියේ පසුවන්නෙක්.
සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.







