BREAKING NEWS
Search

හොර්මුස් සන්ධිය හරහා යන නැව්වලට ආරක්ෂාව: එක්සත් ජනපද නාවික හමුදාව සූදානම්

453

 

මැද පෙරදිග කලාපයේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන ඉන්ධන නෞකා සඳහා ආරක්ෂාව ලබා දීමට එක්සත් ජනපද නාවික හමුදාව සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අතරතුර, කටාර් රාජ්‍යයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයේ පදිංචිව සිටින නේවාසිකයින් ඉවත් කර ගැනීමට එරට බලධාරීන් ඊයේ (4) පියවර ගෙන තිබේ. ඔවුන් තාවකාලිකව වෙනත් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවීමටද කටයුතු කර ඇත.

මැද පෙරදිග කලාපයේ අතරමංව සිටින එක්සත් ජනපද පුරවැසියන් මුදා ගැනීම සඳහාද එරට රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා කුලී ගුවන් යානා යොදාගෙන ඇති අතර, කලාපයේ තවත් රටවල් කිහිපයක් වෙත අතිරේක ගුවන් යානාද පිටත් කර හැරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මේ අතර, හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට නියමිත ඉන්ධන නෞකා සඳහා හැකි ඉක්මනින් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජනපද බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට එක්සත් ජනපද නාවික හමුදාව යුධ සූදානමෙන් රාජකාරියේ නිරතව සිටින අතර, අවශ්‍ය ආරක්ෂාව ඉක්මනින්ම නෞකා වෙත ලබා දීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම, මැද පෙරදිග යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් සමුද්‍රීය වෙළඳාමට ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ. එම සන්දර්භය තුළ සමුද්‍රීය වෙළඳාමට නැවත රක්ෂණ ආවරණ ලබා දීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා Marsh McLennan රක්ෂණ සමාගමේ නියෝජිතයින් එක්සත් ජනපද නිලධාරීන් හමුවී ඇති බවද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!