BREAKING NEWS
Search

අල්ලස් දුෂණ චෝදනා විභාග කරන තෙක් කතානායකට ඉවත් වන්නැයි කියයි..

1858

වත්මන් කථානායකවරයාට එරෙහිව බරපතල දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා රැසක් පවතින බව පවසමින්, අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් කථානායකවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සිය ධුරවලින් ඉවත්ව සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට කථානායකවරයෙකුට එරෙහිව මෙවැනි දැවැන්ත දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති බවත්, එවැනි පුද්ගලයෙකු මූලාසනයේ තබාගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ සුජාතභාවයට බරපතල ප්‍රශ්නයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛ අනුව මූලික විමර්ශන වාර්තාවක් සඳහා ගෙවිය හැක්කේ රුපියල් 4,000ක් සහ චෝදනා පත්‍ර කෙටුම්පත් කිරීම සඳහා රුපියල් 5,000ක් වුවද, කථානායකවරයාගේ වැඩපිළිවෙල යටතේ රුපියල් 74,975ක මුදලක් ගෙවා ඇති බව දයාසිරි ජයසේකර මහතා අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් ලේකම්වරයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නිල නිවාස අවභාවිතය කථානායකවරයා නීති විරෝධී ලෙස නිල නිවාස දෙකක් පරිහරණය කරන බවටද මෙහිදී චෝදනා එල්ල විය. ලෝරිස් පාරේ පිහිටි පළාත් පාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාසයක් සිය නමට වෙන් කරවාගෙන තිබියදීම, ඔහු කථානායක නිල නිවසද පාවිච්චි කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙය දූෂණ විරෝධී පනතේ 111 වගන්තිය යටතේ රාජ්‍ය දේපල අවභාවිත කිරීම සහ රජයට මූල්‍ය පාඩු සිදුකිරීම යන වරදට අයත් වන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකළ ප්‍රකාශය අතරතුර කන්ටේනර් 323ක සිද්ධියක් සම්බන්ධයෙන්ද අදහස් පළ වූ අතර, එය සභාව තුළ දැඩි වාදවිවාදවලට හේතු විය.

මෙම චෝදනා විභාග කර අවසන් වන තෙක් කථානායකවරයා මූලාසනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!