BREAKING NEWS
Search

ලංකාව ලෝක කුසලානයේ ඉදිරියටද ගෙදරද? අද තීරණාත්මක තරගය

431

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තීරණාත්මක තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එහිදී ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පිටියට පිවිසෙන අතර, අවසන් පූර්ව වටයට යාමට බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම සත්කාරක කණ්ඩායමට අත්‍යවශ්‍යය.

සුපිරි අට වටයේ පළමු තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 147ක ඉලක්කයක් හඹා යාමට නොහැකිව පරාජය වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද තරගයේදී සිය දුර්වලතා නිවැරදි කරගැනීමට දැඩි පීඩනයක් තිබේ. විශේෂයෙන්ම මන්දගාමී පන්දු යවන්නන් හමුවේ දැක්වූ අසාර්ථකතාව පල්ලෙකැලේ තරගයේදී පැහැදිලිව පෙනුණි.

මෙවර තරගාවලියේ ඉන්දීය තණතීරුවල තිබූ පිතිකරුවන්ට හිතකර ස්වභාවය ශ්‍රී ලංකාවේදී නොපෙනෙන අතර, මෙරට තණතීරුවන් පන්දු යවන්නන්ට වැඩි සහයක් දක්වයි. එයට අමතරව, ආර්. ප්‍රේමදාස පිටියේ විශාල සීමා මායිම් හේතුවෙන් හයේ පහරවල් එල්ල කිරීම ද අභියෝගයක් වනු ඇත.

එංගලන්තයට එරෙහි දැවැන්ත පරාජයෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ Shot Selection දැඩි විවේචනයට ලක් වූ අතර, නවසීලන්තයේ සමබර පන්දු බලඇණිය හමුවේ වඩාත් විනයගරුක පිතිකරණයක් අවශ්‍ය වෙයි.

නවසීලන්තයටද මෙම තරගය අතිශය වැදගත්ය. පකිස්ථානය සමඟ පැවති තරගය වර්ෂාවට සේදී යාම නිසා ඔවුන්ට ප්‍රසාද ලකුණු බෙදාගැනීමට සිදු විය. නායක මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල දඟ පන්දු බලඇණියක් සතු නවසීලන්තය අද තම පළමු සුපිරි අට ජයග්‍රහණය සොයමින් පිටියට එයි.

ආරම්භක පිතිකරුවන් වන ෆින් ඇලන් සහ ටිම් සයිෆර්ට් මූලික වටයේදී වේගවත් පිතිකරණයක් දක්වමින් කැපී පෙනුණු අතර, කැනඩාවට එරෙහිව අර්ධ ශතකයක් රැස් කළ රචින් රවීන්ද්‍ර මැදපෙළ ශක්තිමත් කරයි.

අද තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ ඉදිරියට යාමද, නැතිනම් තරගාවලියෙන් ඉවත්වීමද තීරණය කරන තත්ත්වයක පවතින අතර, ක්‍රීඩා ලෝලීන් සියලු දෙනාගේම අවධානය අද කොළඹට යොමු වී තිබේ.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!