BREAKING NEWS
Search

සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් විමර්ශන වලට බාධා කරන්න එපා – කතෝලික සභාව

508

 

2019 අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු ස්වාධීනව සහ බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස කතෝලික සභාව ඉල්ලීමක් කර තිබේ.

කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (පෙබරවාරි 26) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සිදුවූ කරුණක් බවයි.

ඔහු පෙන්වා දුන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී එම පරීක්ෂණ නතර වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළද සැලකිය යුතු ප්‍රගතියක් නොවූ බවත්ය.

වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම සඳහා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන නීතිය හමුවට පමුණුවා ගැනීම කතෝලික සභාවේ ස්ථාවර ඉල්ලීමක් බවද පියතුමා සඳහන් කළේය.

තවද, 2024 නොවැම්බර් මාසයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් සහ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, විදේශීය මාධ්‍ය ආයතනයක් වන Channel 4 විසින් ප්‍රචාරය කළ වැඩසටහනකින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Sivanesathurai Chandrakanthan (පිල්ලෙයාන්)ගේ හිටපු ලේකම්වරයා හෙළි කළ තොරතුරු මත පදනම්ව නව විමර්ශන මාර්ග ආරම්භ වූ බවත් ඔහු පැවසීය.

එම විමර්ශනවල එක් ප්‍රතිඵලයක් ලෙස සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ අවස්ථාවේ සැකකරුවෙක් පමණක් බවද පියතුමා අවධාරණය කළේය. ඔහු වැරදිකරුවෙක්ද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණයේ වගකීමක් බවද කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීම් දේශපාලනික වශයෙන් විග්‍රහ කිරීම හෝ අර්ථකථන ලබා දීම සුදුසු නොවන බව සඳහන් කළ පියතුමා, මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ස්වාධීන ක්‍රියාවලියක් බවත්, එයට බාධා කිරීම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට සහ තුවාල ලැබූවන්ට කරන අසාධාරණයක් බවත් පැවසීය.

ඒ අනුව, විමර්ශන කටයුතු ස්වාධීනව ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසත්, ජනතාව ඉවසිලිවන්තව ප්‍රතිඵල බලා සිටින ලෙසත් කතෝලික සභාව ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!