BREAKING NEWS
Search

රජය කළ යුත්තේ මේ සංකීරණ අවස්ථාවේ දී නොබැඳි පිළිවෙත පිළිපැදීමයි

59

ලංකාවේ මුහුදු සීමාවෙන් පිට එහෙත් ලංකාවට අනන්‍ය ආර්ථික කලාප මුහුදු සීමාව තුළ ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ඉරාන යුද නැවක් මුහුදුබත් වී ජීවිත රැසක් විනාශ විය.

නාවික අනතුරකට ලක් වූවන් බේරා ගැනීමේ අන්තර් ජාතික සම්මුති වලට අනුව ලංකාවේ නාවික හමුදාව අනතුරට පත් වූ ජීවිත ගලවා ගැනීමට කටයුතු කර තිබේ. මේ ගැන පාර්ලිමේන්තුවේ හඩ නැගූ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරය ගැන රජය දැඩි විරෝධය පළ කළ යුතු බවත් රජය මෙය හෙළා දැකිය යුතු බවත් පළ කළේ ය.

kofi annan

 

අනුර කුමාර ජනපතිවරයාගේ රජයට කෙනිහිලිකමක් කිරීම හැරෙන්නට ඒ ප්‍රකාශ පවතින භූ දේශපාලනික තත්වය ගැන අවබෝධයකින් කළ ඥානවන්ත ප්‍රකාශ නොවන බව පෙනේ. මේ යුද්ධය පමණක් නොව බොහෝ යුද්ධයෙ විශේෂයෙන් තමන් සතු යුධ බලශක්තිය සියල්ල සාධාරණීකරණය කරයි යනුවෙන් හිතන මහ බලවතුන් මැදිහත් වන යුද්ධ ජාත්‍යන්තර සම්මුති සලකමින් සිදුවන ඒවා නොවේ.

 

ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළ 2004 දී එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ව සිටි කොෆි අනාන් එය අන්තර්ජාතික නීතියට පටහැණි බව ප්‍රකාශ කළේ ය. මෙවර ද වර්තමාන එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුතරෙස් ඇමෙරිකාව ඉරානයට පහර දීම අන්තර් ජාතික නීතියට පටහැණි බව ප්‍රකාශ කළේ ය. 2004 දී අඩු වසයෙන් ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගොස් තම ආක්‍රමණික අභිප්‍රාය සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කිරීමට උත්සාහ කළ නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයා‍ ඇමෙරිකාවේ සම්ප්‍රදායික යුරෝපීය සගයන්ට පවා ඉරානයට පහර දීම සැල නොකළේය.

ට්‍රම්ප් පමණක් නොව පුටින් ද යුක්‍රේනය ආක්‍රමණය කලේ කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ගරු කරමින් නොවේ. අවස්ථාව ලද විට ෂී ජින් පින්ග් තායිවානයට සිය හමුදා ගොඩ බස්සන්නේ ජාත්‍යන්තර සම්මුතිත් සලකමින් නොවේ. ඉරානය ද ක්‍රියා කළේ එසේය. ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස යුද්ධයට සම්බන්ධ නැති අරාබි රටවල් ගණනාවකට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කලේ ජාත්‍යන්තර නීතිය සලකමින් නොවේ. Rule based order ජාත්‍යන්තර ව හඳුන්වන නීති සම්මුතිගරුක සමානාත්මතාව අභිලාෂය කොට සලකන ලෝකයක් වෙනුවට ආර්ථික හා යුධ ශක්තිය ඇති බලවත් රටවල් කිහිපයක් විසින් ලෝකය හසුරුවන අන්තර්ජාතික ක්‍රමයකට අපි අනුගත වෙමින් පවතින බව පෙනේ.

 

8

අල්පේශාක්‍ය රටවල් ද සිය රටවල වැසියන්ට සැලකීමෙ ඒ හා අනුගත වෙමින් බලය යුක්තිය ලෙස සලකන බව අපි දනිමු. මසකට පෙර ඉරානයේ ජනතාව සිය පාලකයන්ගේ පීඩාකාරී පාලනයට එරෙහිව වීදි බට විට කුමේනි ඔවුන්ගෙන් 7000 ක් මරා දැමීමට පසුබට නොවීය. මොන අන්තර්ජාතික නීති සම්මුති ද? එක්සත් ජාතීන් සම්මත කළ මානව අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනා සිය රජයටද එල්ලවන විට ඒවා අන්තර්ජාතික කුමන්ත්‍රණ බව යටි ගිරියෙන් කෑ ගසන දේශපාලනඥයන්ගෙන් අපටද අඩුවක් නැත.

තමන් ලිබරල්වාදියෙකුයි හඳුන්වා ගන්නා අපේ එක් ජනාධිපතිවරයෙක් මානව අයිතිවාසිකම් කඩකිරීමට නිසැක වරදකරුවෙකැ’යි රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ තැනැත්තෙකු ජුගුප්සාජනක ලෙස රටේ නීතියේ විධානය ක්‍රියාත්මක කිරීම ප්‍රධානියා බවට පත් කළේය. අන්තර්ජාතික අධිකරණයේ බලවපසරියට ලංකාව ඇතුළත්වීම වැළැක්වූයේ තමා බවද ඔහු පාරම් බෑවේය. එය හරියට අපට හැර අන් අයට සම්මුතිගරුක ලෝකයක් තිබුණාට කමක් නැත කීම වැනි වැඩකි. අන්තර්ජාතික නීති සම්මුති ගරුකරන ලෝකයක් නැවත්ත් ඇති කළ යුතු බව සැබෑය. එහෙත් අවි බලය කෙසේ වෙතත් ඒ සඳහා අන්‍යන් එකඟකර ගැනීමේ සදාචාරීය අධිකාරය ජාත්‍යන්තර ව අත්පත් කර ගත හැක්කේ තමන්ගේ රටවැසියන් සතු මානව අයිතිවාසිකම් සාක්ෂාත් කරදීම සිය දේශපාලන උපාය මාර්ගවල ඒකායන අභිප්‍රාය බවට සැබෑලෙස ම පත්කරගන්නා දේශපාලනඥයන්ට පමණි.

3e597c004977c2e576852fdebbb466291fb8631d

 

ඉරානය යුද්ධයට සම්බන්ධ නොවූ අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කරනවිට එය හෙළාදැකිය යුතු බව නොකීමත් එම යුද්ධයේදී ඉරාන නැවක් තදාසන්න ජාත්‍යන්තර මුහුදේ දී ගිල්වා දැමීම හෙළා දැමිය යුතු’යැයි කීමත් උගුරට හොරා බෙහෙත් බීමට තැත් කිරීමකි. රටට මුහුණ දීමය සිදුවන අභියෝග සලකා රජය කළ යුත්තේ මේ සංකීරිණ අවස්ථාවේ දී යුදවැදී ඇති කිසිදු පාර්ශවයකට වාසිදායක වන ප්‍රකාශ කිරීමෙන් වැළකී නොබඳි පිළිවෙත පිළිපැදීමයි

(සටහන | විජයානන්ද ජයවීර)
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!