BREAKING NEWS
Search

මුළු මරදානම හෙල්ලූ අදටත් මිනිසුන් ආදරයෙන් මතක් කරන හිත හොද චන්ඩියා – මරදානේ චොප්පේ අයියා.

1001

 

අද වගේ නීතිය අතට ගත්ත කෙරුම්කාරයෝ ගැන පසුගිය සියවසේ මුල් කාලෙ ඉඳන් ම අපට අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් මේගොල්ල චණ්ඩි පාට් දැම්මේ අතේ පයේ හයියෙන්, නැත්නම් කඩු පොලු අරගෙන මිසක් අද වගේ ටී 56 බලයෙන් නම් නොවෙයි. මේ අතරින් මරදානේ චොප්පෙ කියන්නේ කොළඹ විතරක් නෙවෙයි එදා රට ම දන්නා චණ්ඩියෙක්. චොප්පෙ මැරිලා අවුරුදු 53ක් වුණත් අදත් කොළඹ මරදාන අවට ජනතාව චොප්පෙ ගැන කතා වෙනවා.

 

1935 පෙබරවාරි හතර වැනිදා තමයි මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියා උපත ලැබුවේ. ඔහුට සහෝදරයන් සතර දෙනකු හිටියා. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, ‍පොඩි මහත්තයා ඒ හතර දෙනා යි.

 

ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙගෙ පියාගේ නම මනුවෙල් රාජපක්ෂ යි. චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාස‍ලේ පහේ පන්තිය දක්වා පමණ යි. බාල කාලයේ සිට ම ශරීර ශක්තිය ගැන චොප්පෙ නම් දරා සිටියා.

 

ඔහුගේ අත්දෙක කකුල් දෙකේ දණහිසෙනුත් පහළට දික්ව තිබුණා. ඒ හින්දා කෙනකුට දුර සිට ම දරුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාවක් ඔහු සතු වුණා. දකුණු කකුල ඉහළට නවා බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක් ද චොප්පෙට තිබු බව කියවෙනවා. කෙසේවුවත් ඉගෙනීමට කිසි උනන්දුවක් නම් ඔහුට තිබී නැහැ.

 

උදේ හය වන විට පාසලට යන චොප්පේගේ, ධර්මදාස ඇතුළු මිතුරු පිරිසගේ ප්‍රියතම ක්‍රීඩාව වුණේ තාච්චි පැනීම යි. ක්‍රීඩා පිටියේ ඉර මැද සිටින ධර්මදාස පසුකර යාමට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැහැ. ඔහු දිගු අත්වලින් අල්ලා ප්‍රතිවාදියා මෙල්ල කර ගන්නවා. මේ නිසා බාල කාලයේ ම ඔහු පාසලේ ප්‍රකට චරිතයක් වී සිටියා.

 

මේ පවුලේ පිරිමි පස් දෙනා ම චණ්ඩින් විදිහටයි ලොකුමහත් වුණේ. ඔවුන් කවුරුවත් උසස් අධ්‍යාපනයක් ලැබූ අය නොවෙයි. මේ පස් දෙනාට ම ඒ කාලෙ මිනිස්සු බයෙන් හිටියා. චොප්පේ චණ්ඩි රැලේ ප්‍රධානියා ලෙස කටයුතු කලා.

 

එක්දහස් නවසිය හැට දශකයේ මුළු මරදාන ප්‍රදේශය ම එනම්, සන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක් වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ චොප්පෙ අයියා බව පැවසෙනවා. චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු, කප්පම්කාරයෝ සිටියේ නැති බවත් අදත් වැඩිහිටියන් කියක කතාවක්. ඔහුට කඩවසම් සිරුරක් ද නිර්භීත සිතක් ද පැවති බවයි කියන්නේ. ඒ කාලෙ ඔහුගේ සහායෝගය ලබාගැනීමට ධනවතුන්, දේශපාලන බලවතුන් පවා පැමිණි බව නොරහසක්.

 

එකල චීනාඩි නම් සටන් කලාව ජනප්‍රිය වූ කාලයක්. ඔහු දක්ෂ චීනාඩි කාරයෙක් ලෙසත් ප්‍රසිද්ධ යි. චොප්පෙ අයියා චීනාඩි සටන් කලාව හදාරා තිබෙන්නේ මරදානට නුදුරු කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙන් බව යි පැවසෙන්නේ. බිම සිට අහසට පැන වේගවත් අහස් ප්‍රහාර එල්ල කර සතුරා අඩපණ කිරීමට ඔහු සමත් ව තිබෙනවා. ඒ දිනවල වාර්ෂික ව පැවැත්වුණු බොරැල්ල කානිවල් දැක්ම විශාල පිරිසක් එක්වුණු ස්ථානයක් වුණා. එහිදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනාඩි ගහ ගන්නා බවත් එය නැරඹීමට ජනතාව පෙරකමින් පැමිණෙන බවත් කියවෙනවා. ඔහු බිලියඩ් ක්‍රීඩාවටත් විශේෂ දස්කම් දැක්වූ බව පැවසෙනවා.

 

චොප්පෙ අයියා තම මිතුරන් සමඟ රවුම් ගැසුවේ 2 ශ්‍රී 4016 දරන මොරිස් මයිනර් කාර් එකෙ යි. එහි හිමිකරු වුණේ මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාස යි.

 

චොප්පෙ හැමදා ම රෑට පාපැදියක නැගී පාර දිගේ පැද යාම සිරිතක් කොටගෙන සිටියා. විදුලි පන්දමක් ද එළිය කරගෙන තමයි ඔහු රෑට යන්නේ. මේ නිසා හොරු සහ ආපරාධකරුවන්ගෙන් මරදාන බේරී තිබුණු බවත් කියවෙනවා. සමහර අවස්ථාවලදී පොලිසියත් ඔහුගේ සහාය ලබා ගෙන ඇතැයි පවසනවා. ඒ අතර ම නීතිය අතට ගෙන නඩු විසඳීමත් ඔහු කළා. අවට ජනතාව අසාධාරණකම්වලට පිහිට පතා පැමිණියේ චොප්පෙ අය්යා ළඟට යි.

 

මේ අතර පොලිසිය චොප්පෙට නිතර චෝදනා එල්ල කර නඩු පවරා තිබෙනවා. එහෙත් පොලිසිය ගත් උත්සාහය නිෂ්ඵල වී තිබෙන්නේ පැමිණිල්ල ගොනු කළ ද සාක්ෂි දීමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම නිස යි. මේ අතර චොප්පෙගෙ බලවත් බව තවත් එක්තරා අපරාධ කරුවන් පිරිසකට තර්ජනයක් වී තිබුණා. ඔවුන් රහසිගත ව සංවිධානය වෙමින් තිබුණේ මේ පුද්ගලයාගෙන් පලිගැනීමට යි.

 

මෙලෙස සංවිධානය වූ චොප්පෙට එරෙහි සතුරු පිරිස අවසානයේ ජය ගත්තා. 1968 ඔක්තෝබර් 16 දින පිහිවලින් කපා කොටා ඔහු ඝාතනය කර තිබුණා.

 

අවසානයෙ චොප්පෙටත් අත්වුණේ සෑම චණ්ඩියකුට වගේ ම අත්වන මහ මඟ අකල් මරණයක්. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 33ක් පමණ යි. ඔහුගේ අවමඟුල් උත්සවය මහත් උත්සවාකාරයෙන් පවත්වා තිබෙනවා. මරදානේ පමණක් නොවෙයි තවත් බොහෝ පැතිවලින් ජනතාව එයට එක්වූ බව වාර්තා වෙනවා. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙන යන අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබුවා. චොප්පෙගෙ අවමඟුල් උත්සවයෙ ස්තුති කතාව කළේ ගාමිණි ෆොන්සේකා බව සඳහන් වෙනවා.

 

චොප්පෙ අයියා මියගොස් වසර පනහක් පිරීම වෙනුවෙන් 2018 ගුණසමරු උත්සවයක් මරදානේ දී පැවැත්වුණා. එම උත්සවයටත් අතීතය සිහිපත් කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

 

උපුටාගැනීම

 

Sri Lankawa face book page




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!