BREAKING NEWS
Search

සීතාවක ගගේ සැගවුණු වසර සිය ගණනකට උරුමකම් කියන මංගල ලකුණු දහසක් සහිත රම්පදගල සිරිපතුල.

609

සීතාවක ගගේ සැගවුණු වසර සිය ගණනකට උරුමකම් කියන මංගල ලකුණු දහසක් සහිත රම්පදගල සිරිපතුල.
සීතාවක ගඟ ආරම්භ වන්නේ උඩමාලිබොඩ සමනළ අඩවියේ කඳුවලින්. එය පහත නිම්නයේ දී කැලණි නදියට එක්වන ප්‍රධාන ශාඛාව යි. කඳු බෑවුම්වලින් ඇහිරුණු පටු අලංකාර නිම්නයක සීතාවක නදිය ගලා බසිනවා.සීතාවක රාජධානි සමයට සම්බන්ධ අප්‍රකට ඉපැරණි සිහිවටන රාශියක් මේ ගංගාවේ පහළ නිම්නයේ පිහිටා තිබෙනවා.

අවිස්සාවේල්ල කරවනැල්ල මාර්ගය දෙහිඕවිට දක්වා ඇදී යන්නේ වූ සීතාවක ගංගා ඉවුර අද්දරින්. අවිස්සාවේල්ල සිට කිලෝ මීටර් 7ක් දුරින් පිටදෙනිය කියන ගම පිහිටා තිබෙනවා. පිටදෙනිය බෝධි වෘක්ෂය අසලින් දකුණු දෙසට ඇදී යන පාර වැටී තිබෙන්නේ තිඹිරිපොල ගම්මානය වෙතට යි. එම පාරේ කිලෝ මීටරයක් දුර පියමං කරන විට සීතාවක ගඟ හරහා දමා තිබෙන සංගිලි පාලම අපට දැක ගැනීමට ලැබෙනවා.
පාලම අසලින් වන බූටෑව අතරින් වම් පැත්තට තවත් මීටර් 300ක් ගමන් කරන විට ගංඉවුරේ ගල් තලාවක කොටා ඇති සිරිපතුල් ලාංඡනය දැක ගැනීමට පුළුවන්. ගඟ අසබඩ තෙබු පඳුරු පිරුණු බිමක අඩි 20ක් පමණ උසැති මේ ගල් පර්වතය පිහිටා තිබෙනවා. එය හඳුන්වන්නේ ”රම්පදගල සිරිපතුල” යනුවෙනුයි.

සිරිපතුල ඇති ස්ථානයට යෑමට නිශ්චිත පාරක් නම් නැහැ. මේ ගලට පහළින් ගඟ තුරු පෙත් අතරින් අලංකාර දසුනක් මවා පාමින් ගංගාව ගලා බසිනවා. පර්වතය මඳක් හාරා නිර්මාණය කර ඇති සිරිපතුලේ දිග අඩි 4ක් වන අතර පළල අඩි එකහමාරක් වෙනවා. පාදයේ ඇඟිලි දිගින් අඟල් 10ක් පමණ වෙනවා.

ශ්‍රීපාද සලකුණ මැද අවකාශය අලංකාර කර ඇත්තේ වෘත්තාකාර නෙළුම් මල් සලකුණු හයකින්. ඒවා අඟල් 8 10, 12 ආදී ලෙසින් විෂ්කම්භයෙන් යුක්තයි. නෙළුම් මලක පෙති අටක් සිටින සේ නිර්මාණය කර තිබෙනවා. ප්‍රධාන පෙති මත කුඩා පෙති නිර්මාණය කර තිබෙනවා. බුදු සිරිපතුලක තිබිය යුතු මංගල ලකුණු කොටීමට කැටයම්කරුවා උත්සාහ දරා ඇති අතර මෙහි දී කැටයම්කරුවාගේ දක්ෂතාව ද අපට පැහැදිලි වෙනවා. මේ අසල පහන් කණුවක් තිබූ බවට ද සාධක හමුවෙනවා.

ගල් පර්වතයේ සිරිපා ලකුණ අසල හාරන ලද වළවල් කියාපාන්නේ සිරිපතුලට ඉහළින් කණු මත පියස්සක් තිබී ඇති බව යි. සිරිපතුල වටා ගෙතුණු ජනප්‍රවාදයට අනුව මෙය සීතාවක රාජසිංහ රජු කරවූවක්. රාජසිංහ රජුගේ බිසවට දරුවකු ලැබීමට ආසන්න වෙද්දී හටගත් දොළ දුකට අනුව ඇයට ශ්‍රීපාදය වන්දනා කිරීමට අවශ්‍ය වී තිබෙනවා.

ඒ අවස්ථාවේ රාජධානියට සතුරු ආක්‍රමණ එල්ල වී අවට පෙදෙස අනාරක්ෂිත ව පැවැති බැවින් එම කාර්යය ඉෂ්ට කිරීමට නොහැකි වී තිබෙනවා. මේ නිසා රජු සීතාවක ගංගා ඉවුරේ ඇති මෙම ගල් පර්වතයේ සිරිපතුලක් නිර්මාණය කරවා ඇත්තේ මාලිගයේ සිට අඟුලෙන් පැමිණ දේවියට ශ්‍රීපාදය වන්දනා කරන්නට පහසුකම් සැලසීමට බවයි පැවසෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!