අප තථාගත තිලෝගුරු බුදුපියාණන්න් වහන්සේගේ සම්බුදු ගුණ නුවණේ ලෝක විදූ ඥානබලය පතුරුවා ලමින් පුබ්බේනිවාසානුස්සති ඤාණය,චුතූපපාත ඤාණය ආදී උදාර ඥාන බලයන්ගෙන් දේශනා කොට වදාළ කර්මය පුනර්භවය බෞද්ධ දාර්ශනික සංකල්ප ඔස්සේ අවබෝධ ඥානයෙන් තේරුම් ගත යුතු මේ වටිනා කාරණය පිළිබඳව විස්තර කථනය ඉදිරිපත් කළ පින්වතාණන්ට බොහොම පින් ..
විද්‍යාව පවා අසරණ කළ ජේම්ස්ගේ පුනුරුප්පත්තිය.. ලෝකයම මවිත කරමින් බටහිර විද්‍යාව බුදු දහම ඉදිරියේ පරදී..
මරණය කියන්නේ හැමදේකම අවසානයද..? නැත්නම් අලුත් ගමනක ආරම්භයක්ද..? මේ ප්‍රශ්නයට උත්තර හොයන්න මනුෂ්‍යයා කාලාන්තරයක් තිස්සේ උත්සාහ කරනවා.. ආගමික පැත්තෙන් පුනර්භවය ගැන ඉගැන්වීම් තිබුණත්, විද්‍යාව හැමතිස්සෙම ඉල්ලුවේ සාක්ෂි…
අන්න ඒ විද්‍යාඥයන්ගේ කටවල් වස්සවපු, අදටත් ලෝකයේ විසඳාගත නොහැකි අංක එකේ අභිරහසක් විදියට සැලකෙන ජේම්ස් ලයිනිංගර්ගේ කතාව අද අපි සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දෙනවා… මේක නිකම්ම කතාවක් නෙවෙයි, ඇසින් දුටු සාක්ෂි සහ ලේඛනගත දත්ත සහිත සත්‍ය සිදුවීමක්..
📍ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ පදිංචි බෲස් සහ ඇන්ඩ්‍රියා යුවළට 1998 දී පුතෙක් උපදිනවා. ඔවුන් ඔහුට “ජේම්ස්” කියලා නම තබනවා. අවුරුදු දෙකක් යනකම් ජේම්ස් කියන්නේ හරිම සාමාන්‍ය, හුරතල් දරුවෙක්. හැබැයි මේ සන්සුන් බව බිඳී යන්නේ ජේම්ස්ට වයස අවුරුදු දෙක පිරෙද්දී.
එක්තරා රාත්‍රියක ජේම්ස් නින්දෙන් දරුණු විදියට කෑගහන්න ගත්තා. දෙමාපියන් දුවගෙන එද්දී ජේම්ස් ඇඳේ දඟලමින්, අත් දෙකෙන් අහසට මොනවා හරි තල්ලු කරන ගමන් මෙහෙම කියනවා
“ගුවන් යානය ගිනි ගන්නවා.. මට එළියට එන්න බැහැ.. පොඩි මිනිහට (Little Man) එළියට එන්න උදව් කරන්න…”
මේක එක රැයකින් ඉවර වුණේ නැහැ. සතියකට තුන් හතර වතාවක් ජේම්ස් මේ විදියටම කෑගැසුවා. මේ පුංචි දරුවා මොන වගේ කම්පනයකින්ද මේ පෙළෙන්නේ කියලා දෙමාපියන්ට හිතාගන්න බැරි වුණා.
📍 ජේම්ස් සෙල්ලම් කරන විදියත් හරිම අමුතුයි. ඔහු සෙල්ලම් ගුවන් යානා අරගෙන ඒවා පොළොවේ ගහලා කඩාවැටෙනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් අවුරුදු 3ක ළමයෙක් ගුවන් යානයක් ගැන දන්නේ මොනවද..? හැබැයි ජේම්ස්ගේ දැනුම පුදුම සහගතයි…
දවසක් ඔහුගේ අම්මා සෙල්ලම් ගුවන් යානයක් පෙන්වලා, ඒකේ යට තිබුණු කොටසක් බෝම්බයක් කියලා කිව්වා. ජේම්ස් ඉතාම බැරෑරුම් මුහුණකින් අම්මා දෙස බලලා මෙහෙම කිව්වා
“නෑ අම්මේ, ඒක බෝම්බයක් නෙවෙයි. ඒක Droptank එකක්.”
“Droptank” කියන්නේ ගුවන් යානයක අමතර ඉන්ධන ගබඩා කරන ටැංකියට.. යුධ ගුවන් යානා ගැන විශේෂ දැනුමක් නැති සාමාන්‍ය කෙනෙක්වත් නොදන්නා වචනයක් මේ අවුරුදු 3ක දරුවා දන්නේ කොහොමද..? බෲස් (පියා) ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා.. ඔහු ජේම්ස්ගෙන් තවත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා..
📍 බෲස් දවසක් ජේම්ස්ගෙන් ඇහුවා, “පුතේ, ඔයාගේ යානය කොහෙන්ද අහසට ගියේ?” කියලා. කිසිම පැකිලීමක් නැතිව ජේම්ස් කිව්වා “නැටෝමා” කියලා.
බෲස් වහාම අන්තර්ජාලයේ නටෝමා කියන වචනය පරීක්ෂා කළා.. දෙවන ලෝක යුද්ධය කාලයේ ඇත්තටම USS නැටෝමා බේ කියලා ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් (Aircraft Carrier) තිබුණා..! බෲස් තවත් පුදුම වුණා. ඔහු තවත් ප්‍රශ්නයක් ඇහුවා ‘කවුද එතකොට ඔයාගේ යාළුවෝ..?’
ජේම්ස් කිව්වේ “ජැක් ලාර්සන්” (Jack Larson) කියලා නමක්. බෲස් මේ නම පස්සේ පන්නන්න ගත්තා… ඔහු යුධ හමුදා වාර්තා පරීක්ෂා කළා… එහිදී ඔහුට හමු වුණා ජැක් ලාර්සන් නමැති නියමුවෙක් එම නෞකාවේ සේවය කළ බවත්, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත්..
📍 ජේම්ස් තමන්ගේ මරණය ගැන විස්තර කළේ හරියට දැන් සිද්ධ වෙනවා වගේ. මම පැදෙව්වේ Corsair වර්ගයේ යානයක්. ඒ යානය හැමවෙලේම වමට ඇදලා යනවා (Pull to the left). යානයේ රෝදවලට නිතරම හානි වෙනවා..
බෲස් සොයාගත් තොරතුරු අනුව, ඇත්තටම Corsair යානා වල තිබුණු ලොකුම ගැටලුව තමයි ඒවා පදවද්දී වමට ඇදී යාම සහ ගොඩබෑමේදී රෝදවලට හානි වීම.. මේවා කිසිම පොතක පතක තිබුණේ නැහැ, ඒක දැනගත හැක්කේ ඒ යානය පැදවූ නියමුවෙකුටම විතරයි..
ජේම්ස් කිව්වා තමන්ගේ යානයට ජපාන ජාතිකයන් වෙඩි තිබ්බා කියලා.. යානයේ එන්ජිමට වෙඩි වැදී ගිනිගත් බවත්, තමන්ට යානයෙන් එළියට පනින්න බැරි වුණු බවත් ඔහු පැවසුවා. ඔහු මියගියේ ඉවෝ ජීමා (Iwo Jima) සටනේදී බවත් ඔහු මතක් කළා.
📍 බෲස්ගේ පරීක්ෂණ අවසානයේ ඔහුට එක නමක් හමු වුණා. ඒ තමයි ජේම්ස් හස්ටන් (James Huston Jr.).
1945 මාර්තු 3 වන දින, නැටෝමා බේ නෞකාවෙන් ගුවන් ගත වුණු ජේම්ස් හස්ටන්ගේ යානය, ජපාන වෙඩි ප්‍රහාර හමුවේ මුහුදට කඩාවැටී ඔහු මියගොස් තිබුණා.
දැන් බලන්න මේ පුදුම සහගත ගැලපීම..
දෙදෙනාගේම නම “ජේම්ස්”. ජේම්ස් ලයිනිංගර් තමන් අඳින චිත්‍රවල අත්සන් කළේ “James 3” කියලා. ඔහුගෙන් ඇයි එහෙම අත්සන් කරන්නේ කියලා ඇහුවම ඔහු කිව්වේ මම තුන්වෙනි ජේම්ස් කියලා.
(James Huston Sr. පළමුවැන්නා මොහු තමයි මියගිය නියමුවාගේ පියා.
James Huston Jr. දෙවැන්නා මොහු තමයි 1945 දී යුද්ධයෙන් මියගිය ගුවන් නියමුවා. Jr. කියන්නේ Junior කියන එකයි. සාමාන්‍යයෙන් පියාගේ නමම පුතාට තැබූ විට ඔහු Junior ලෙස හැඳින්වෙනවා.
James Leininger තුන්වැන්නා මේ කතාවේ ඉන්න පුංචි දරුවා. ඔහු තමන්ව හඳුන්වා දුන්නේ “James 3” විදියටයි.)
📍මේ කතාවේ හැරවුම් ලක්ෂය වුණේ ජේම්ස් හස්ටන්ගේ (මියගිය නියමුවාගේ) සහෝදරිය වන ඈන් බැරොන් මුණගැසීමයි. ඈන් ඒ වෙද්දී වයසක කාන්තාවක්. පුංචි ජේම්ස් ඇයව මුණගැසුණු ගමන් ඇනී කියලා ඇයට ආමන්ත්‍රණය කළා. ඒ නම පාවිච්චි කළේ ඇගේ මියගිය සහෝදරයා විතරයි.
තවත් පුදුම වැඩක් වුණා. ඈන් සහ ජේම්ස් හස්ටන්ගේ නිවසේ තිබුණු ඡායාරූප සහ වස්තූන් ගැන ජේම්ස් නිවැරදිව කිව්වා. “ඔයාගේ කාමරේ අහවල් තැන මේ දේ තිබුණා නේද?” කියලා ජේම්ස් අසද්දී ඈන් දෑසට කඳුළු පුරවාගෙන පැවසුවේ, “මේ මගේ සහෝදරයා මිසක් වෙන කවුරුත් නෙවෙයි” කියලා.
📍 වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය ආචාර්ය ජිම් ටකර් (Dr. Jim Tucker) මේ ගැන අවුරුදු ගාණක් පරීක්ෂණ කළා.. ඔහු කියන්නේ මෙහෙමයි
මේ දරුවා පවසන තොරතුරු කිසිම තැනකින් කියවලා හෝ අහලා දැනගන්න පුළුවන් ඒවා නෙවෙයි. යුධ හමුදා රහස් ලේඛනවල පවා තිබුණේ නැති තොරතුරු මේ අවුරුදු 3-4 දරුවා කිව්වා. අපිට මේක හුදෙක් අහම්බයක් කියලා බැහැර කරන්න බැහැ.
විද්‍යාවට අනුව මතකය පවතින්නේ මොළය තුළයි.. මොළය මැරුණාම මතකය විනාශ වෙන්න ඕනේ.. හැබැයි ජේම්ස් ලයිනිංගර්ගේ කතාවෙන් ඔප්පු වෙන්නේ මොළය විනාශ වුණත් චිත්ත පරම්පරාව හෝ ආත්මය තුළ මතකය තැන්පත් වී තිබිය හැකි බවයි…
බුදු දහමට අනුව මරණයකදී විනාශ වන්නේ භෞතික ශරීරය පමණයි. “විඤ්ඤාණය” නැතිනම් සිත එක් භවයකින් තවත් භවයකට ගමන් කරනවා. ජේම්ස් ලයිනිංගර්ගේ සිදුවීමේදී විද්‍යාඥයන්ට පැහැදිලි කරන්න බැරි වුණේ, මියගිය පුද්ගලයාගේ මතකය අලුත් මොළයකට ආවේ කොහොමද කියන එකයි. බුදු දහමේ එන “ප්‍රතිසන්ධි විඤ්ඤාණය” මගින් මේ අභිරහසට ඉතාම පැහැදිලි පිළිතුරක් ලැබෙනවා.
පෙර ආත්මය සිහිපත් කිරීමේ හැකියාව බුදු දහමේ හැඳින්වෙන්නේ “ජාතිස්මරණ ඥානය” ලෙසයි. බුදු දහම පෙන්වා දෙන විදියට, ඉතාම ප්‍රබල ආශාවකින් හෝ දරුණු කම්පනයකින් (යුද්ධයකදී මියයාම වැනි) මියයන පුද්ගලයන්ට තමන්ගේ පෙර මතකය රැගෙන ඒමේ වැඩි ඉඩක් තියෙනවා.
මෙම සිද්ධිය පරීක්ෂා කළ ආචාර්ය ජිම් ටකර් සහ ඔහුගේ ගුරුවරයා වූ ආචාර්ය ඉයන් ස්ටීවන්සන් (Dr. Ian Stevenson) වැනි විද්‍යාඥයන්, තමන්ගේ පර්යේෂණ නිගමන සඳහා බෞද්ධ රටවලින් (ශ්‍රී ලංකාව, ඉන්දියාව තායිලන්තය, මියන්මාරය) විශාල වශයෙන් දත්ත ලබාගත්තා. ඔවුන් පිළිගත්තා බටහිර විද්‍යාවට වඩා පුනර්භවය ගැන ගැඹුරු විග්‍රහයක් බුදු දහමේ තියෙන බව.
විද්‍යාව අද සොයාගන්නා මේ සත්‍යය, මීට වසර 2600කට පෙර බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක. භෞතිකවාදී ලෝකය මරණයෙන් පසු සියල්ල අවසන් යැයි සිතුවද, ජේම්ස් ලයිනිංගර් වැනි දරුවන් ඔප්පු කරන්නේ ‘සංසාරය’ යනු කෙතරම් ගැඹුරු සහ පුදුම සහගත ගමනක්ද යන්නයි.
📍 කොහොම හරි බොහෝ පුනර්භව කතා වල වගේම, ජේම්ස්ගේ වයස අවුරුදු 7-8 වෙද්දී මේ අතීත මතකයන් ටික ටික මැකී යන්න පටන් ගත්තා. ඔහුට පෙනුණු භයානක හීන නතර වුණා. අද ජේම්ස් ලයිනිංගර් කියන්නේ තරුණයෙක්. ඔහු පවසන්නේ තමන්ට දැන් ඒ කිසිවක් මතක නැති බවත්, තමන් දන්නේ තම දෙමාපියන් සහ විද්‍යාඥයන් ලේඛනගත කළ දේවල් පමණක් බවයි..
හැබැයි ඔහු අදටත් විශ්වාස කරනවා තමන්ගේ පෙර ආත්මය “ජේම්ස් හස්ටන්” බව.
✨ ජේම්ස් ලයිනිංගර්ගේ කතාව අපිට දෙන්නේ ලොකු පණිවිඩයක්. මරණය කියන්නේ අවසානය නෙවෙයි. අපේ ආදරණීයයන් ආයෙත් අපිට මුණගැහෙන්න පුළුවන්. මේ ලෝකයේ විද්‍යාවට තාම තේරුම් ගන්න බැරි අද්භූත දේවල් තියෙනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ…
උපුටා ගැනීමක්!







