දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව නැවත නගා සිටුවීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂ මානුෂීය සැලැස්මක් දියත් කර තිබේ. කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් මහතා මේ බව අනාවරණය කළේය. මූලික ඇස්තමේන්තුවලට වඩා ආපදාවෙන් සිදුවී ඇති හානිය විශාල බවත් මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව දිගුකාලීන සහ කෙටි කාලීන විසඳුම් ලබා දිය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය. දැනටමත් මිලියන දෙකකට ආසන්න ජනතාවක් මෙම ආපදාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
කොවිඩ් වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ශ්‍රී ලංකාව පසුගිය වසර විස්සක කාලය තුළ මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙය බව සම්බන්ධීකාරකවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් එනම් සියයට විසිපහක පමණ ප්‍රමාණයක් මේ වන විටත් දරිද්‍රතාවයෙන් පීඩා විඳින පසුබිමක මෙම ස්වභාවික විපත හරහා ඔවුන් තවදුරටත් අසරණ වී ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව එකිනෙකාට උදව් කර ගනිමින් පෙන්නුම් කළ පරිත්‍යාගශීලීත්වය සහ එකමුතුකම තමන් බෙහෙවින් අගය කරන බවත් මෙවන් එකමුතුකමක් තම මව් රටේදී හෝ දැකීම අපහසු විය හැකි බවත් ඔහු සංවේදීව ප්‍රකාශ කර තිබුණි.
ආපදා තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේ සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව කටයුතු කර තිබේ. විපතට පත් ජනතාවට අවශ්‍ය පිසූ ආහාර සහ මූලික පහසුකම් ලබා දීමට ඔවුන් මුල් අවස්ථාවේදීම මැදිහත් වූ අතර එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය හරහා ඇමරිකානු ඩොලර් මිලියන හතරහමාරක මුදලක් මෙම හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් වෙන් කිරීමට ද පියවර ගෙන ඇත. ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු ප්‍රධාන අංශ හතක් හඳුනාගෙන ඇති අතර එම අංශ ආවරණය වන පරිදි විපතට පත් ජනතාවට සහන සැලසීමේ පුළුල් වැඩපිළිවෙළක් දැන් සකස් කර තිබේ.
මෙම මානුෂීය මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ පරිත්‍යාගශීලී රටවලින් ඇමරිකානු ඩොලර් මිලියන තිස් පහක මුදලක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වෙයි. මෙම මුදල ණයක් ලෙස නොව ආධාරයක් හෝ ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිත බව සම්බන්ධීකාරකවරයා විශේෂයෙන් සඳහන් කළේය. දැනටමත් ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකාව වැනි රටවල සහාය ඇතිව ඩොලර් මිලියන නවයහමාරක මුදලක් ලැබී ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ ඉතිරි ඩොලර් මිලියන විසි හය සොයා ගැනීමට අපේක්ෂා කෙරේ. අසල්වැසි රටවල් ඇතුළු ලොව පුරා රටවල් විසි එකක් මේ වන විට ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමට ඉදිරිපත් වී ඇති අතර එය ශ්‍රී ලංකාව සෙසු රටවල් සමඟ පවත්වාගෙන යන ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ප්‍රතිඵලයක් බව ද මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
BBC ඇසුරිණි







