දකුණු කොරියාවේ දකුණු ග්යොන්ග්සැං පළාතේ ගෝසෝං හි පිහිටි ගොඩබිම පදනම් කරගත් මත්ස්‍ය ගොවිපළක ජල ටැංකියක් තුළ, ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු සේවකයින් තිදෙනෙකු මියගොස් සිටියදී සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එරට පොලීසිය උපුටා දක්වමින් එහි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඊයේ රාත්‍රී 8:30 ට පමණ ගෝසෝං හි පිහිටි එම මත්ස්‍ය ගොවිපළේ විශාල ජලාශ ටැංකියක් තුළදී සිරුරු සොයාගත් බවයි.
මියගිය අය අතර 50 ගණන්වල පසුවන ස්ථාන අධීක්ෂකවරයෙකු සහ 20 සහ 30 ගණන්වල පසුවන ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු ඇතුළත් බව එහි දැක්වෙනවා.
ජල ටැංකිය මීටර හතරක් (අඩි 13ක්) පළලින්, මීටර තුනක් දිගින් සහ මීටර දෙකක් ගැඹුරින් යුක්ත බව සඳහන්.
සේවකයින් සොයාගන්නා විට ටැංකිය ජලයෙන් පිරී තිබූ බව වාර්තා වනවා.
මෙම ටැංකිය, කුඩා මසුන් බෝ කරන ගොවිපළට ජලය සැපයීම සඳහා වූ ගබඩා ජලාශයක් ලෙස භාවිත කර තිබෙනවා.
බෝ කිරීමේ ටැංකි වෙත පොම්ප කිරීමට පෙර ජලය විදුලි උපකරණ භාවිතයෙන් රත් කිරීම හෝ සිසිල් කිරීම සිදු කෙරෙන බව සඳහන්.
ටැංකියට පිවිසීමට ඇත්තේ එක් වැඩිහිටියෙකුට පමණක් යන්තම් යා හැකි තරම් විශාල විවරයකින් පහළට විහිදෙන ඉණිමඟක් මගින් බවයි පැවසෙන්නේ.
පොලීසියට මුලින්ම දැනුම් දී ඇත්තේ රාත්‍රී 7:38 ට පමණ ස්ථාන අධීක්ෂකවරයාගේ පවුලේ අය විසින් බව වාර්තාවල දැක්වෙනවා.
ඔවුන් වාර්තා කර ඇත්තේ ඔහු සමඟ සම්බන්ධතා නැති වූ බවයි. අනතුරුව නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු සිරුරු සොයාගෙන තිබුණා.
මියගිය ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු රාජකාරියේ යෙදෙන ඇඳුම් ලෙස පෙනෙන ඇඳුමක් ඇඳ සිටි අතර, අනෙක් දෙදෙනා සාමාන්‍ය ඇඳුමින් සැරසී සිට තිබෙනවා.
මරණයට හේතුව නිශ්චිතව තීරණය කිරීම සඳහා පරීක්ෂණයේ කොටසක් ලෙස මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සේවකයින් එම අවස්ථාවේදී ටැංකිය පිරිසිදු කරමින් සිටියාද යන්න පැහැදිලි නැති බවයි.
පොලීසිය දැනට මෙය කාර්මික අනතුරක් ඇතුළු විවිධ හැකියාවන් සලකා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
Source – Hiru Gossip







