මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්තාවය හමුවේ, එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විදේශ අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කරයි.
නිල වශයෙන් නිකුත් කළ ප්‍රකාශයකින් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මැදපෙරදිග පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් පවතින බවයි.
කලාපයේ ආරක්ෂක තත්ත්වය මිනිත්තුවෙන් මිනිත්තුව නිරීක්ෂණය කරන ලෙස දූත මණ්ඩල වෙත උපදෙස් ලබා දී ඇති බවත් එය වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි අවස්ථාවලදී සම්බන්ධ විය හැකි ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් +94 71 980 2822 දුරකථන අංකය හරහා WhatsApp ක්ෂණික ඇමතුම් සේවාවක් ද හඳුන්වා දී ඇත.
වර්තමාන අර්බුදකාරී වාතාවරණය තිබුණද, මේ දක්වා මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සැලකිය යුතු කිසිදු හානියක් හෝ බලපෑමක් වාර්තා වී නොමැති බව විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.







