ඉරානයේ ත්‍රස්තවාදී පාලනයට එරෙහිව මැදපෙරදිග කලාපය තුළ ඇමරිකාව දියත් කර ඇති හමුදා මෙහෙයුම් සඳහා සහාය වීමට නේටෝ (NATO) සංවිධානයේ සාමාජික රටවල් බොහොමයක් අකමැත්ත පළ කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉඩ නොතැබිය යුතු බවට බොහෝ රටවල් එකඟතාව පළ කළද, සැබෑ ක්‍රියාවේදී ඔවුන් පසුබෑමට ලක්ව ඇති බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සඳහන් කර සිටී.
නේටෝ සංවිධානය යනු ඇමරිකාව විසින් වසරකට ඩොලර් බිලියන සිය ගණනක් වියදම් කරමින් අනෙකුත් රටවල් ආරක්ෂා කරන “එක පැත්තකට පමණක් වාසිදායක” (one way street) සංවිධානයක් බවත්, අවශ්‍ය මොහොතකදී ඔවුන් ඇමරිකාව වෙනුවෙන් කිසිවක් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී විවේචනය කළේය.
ඇමරිකානු හමුදා ප්‍රහාර හමුවේ ඉරානයේ නාවික හමුදාව, ගුවන් හමුදාව, ගුවන් විරෝධී පද්ධති සහ රේඩාර් පද්ධති සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙයි.
එමෙන්ම ඉරාන පාලනයේ සෑම මට්ටමකම සිටි නායකයින්ද ඉවත් කර ඇති බැවින්, මින් ඉදිරියට ඇමරිකාවට හෝ ලෝකයට ඔවුන්ගෙන් තර්ජනයක් එල්ල නොවන බව ඔහු සහතික කළේය.
තම රට ලබා ඇති යුද ජයග්‍රහණ හමුවේ නේටෝ සංවිධානයේ හෝ ජපානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව වැනි වෙනත් කිසිදු රටක සහාය තමන්ට තවදුරටත් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ලෝකයේ ඕනෑම තැනක සිටින බලවත්ම රට ලෙස ඇමරිකාවට කිසිවෙකුගේ උදව් අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.







