“ආරුක්කු නවයේ පාලම” ගැන අපි හැමෝම දන්නවා. හැබැයි මේ මහා කළුගල් විස්මය පිටුපස තියෙන, ලෝක යුද්ධයකටත් අභියෝග කරපු ඒ අභිමානවත් කතාව ඔබ දන්නවාද? මේ ලිපිය ඒ සැබෑ හෙළ වික්‍රමය ගැනයි.

යක්ෂ වෙස් ගත් මිනිසා සහ බ්‍රිතාන්‍ය මිතුරා
මේ කතාවේ වීරයා පී. කේ. අප්පුහාමි. 1870 වසරේ වැලිමඩ, කැප්පෙටිපොල ප්‍රදේශයේ උපන් ඔහු දක්ෂ බෙර වාදකයෙක් සහ තොවිල් නර්තන ශිල්පියෙක්. දිනක් තොවිලයක් අවසානයේ යක්ෂ වෙස් ගෙන පාරේ යමින් සිටි අප්පුහාමිව දැකලා, දුම්රිය මාර්ගය හදන්න ආපු බ්‍රිතාන්‍ය නිලධාරියෙක් මරණ බියෙන් ගැහුණා ලු! පසුව ඇතිවුණු මිත්‍රත්වය මත අප්පුහාමි මේ වැඩබිමට කම්කරුවන් සපයන බාස්වරයෙක් ලෙස සම්බන්ධ වුණා.

ලෝක යුද්ධය සහ යකඩ නැති අර්බුදය
දුම්රිය මාර්ගය ඇල්ලේ සිට දෙමෝදරට රැගෙන එද්දී පළමු ලෝක යුද්ධය ආරම්භ වුණා. පාලම හදන්න බ්‍රිතාන්‍යයෙන් ලැබෙන්න තිබුණු යකඩ තොග සියල්ල යුද අවශ්‍යතා සඳහා හරවා යැවුණා. යකඩ නැතිව පාලමක් හදන එක සුද්දන්ට හීනයක් වුණත්, අප්පුහාමි ඒ අභියෝගය භාර ගත්තේ “මම මේක යකඩ නැතිව හදන්නම්” කියන දැඩි විශ්වාසයෙන්.

වගුරු බිම මත කළුගල් ඇඳක් තැනීම
පාලම ඉදිවෙන තැන තිබුණේ භයානක මඩ වගුරක්. කුලුනු හිටවන්න බැරුව බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් පවා අසරණ වෙද්දී, අප්පුහාමි අපූරු ක්‍රමයක් පාවිච්චි කළා. ඔහු කඳු මුදුන්වල ඉඳන් විශාල කළුගල් පර්වත පහළට පෙරළන්න සැලැස්වූ අතර, ඒ පර්වත මඩ පතුලේ තැන්පත් වෙලා ශක්තිමත් ගල් ඇඳක් නිර්මාණය වුණා. කිසිදු යකඩයක් පාවිච්චි නොකර කළුගල්, ගඩොල් සහ සිමෙන්ති පමණක් යොදාගෙන ඔහු මේ විස්මය නිම කළේ වසරක් වැනි කෙටි කාලයකින්.

ජීවිතය පරදුවට තබා කළ සහතිකය
යකඩ නැතිව හැදුණු පාලම ගැන බ්‍රිතාන්‍යයන්ට සැකයක් තිබුණා. එතැනදී අප්පුහාමි කළේ ලෝකයම මවිත කරපු වැඩක්. පාලම මතින් පළමු දුම්රිය ගමන් කරන වෙලාවේ, ඔහු පාලම යට සරමක් එලාගෙන නිර්භීතව නිදාගෙන සිටියා. පාලම වැටුණොත් තමන්ගේ ජීවිතයත් එතැනම අවසන් වේවා කියන ඔහුගේ ආත්ම විශ්වාසය ඉදිරියේ සුද්දන්ගේ හිස නැමුණා.
රිදී කාසි පිරවුණු කරත්ත සහ කෘතගුණ සැලකීම
මේ මහා ජයග්‍රහණයෙන් පසු බ්‍රිතාන්‍ය රජය ඔහුට රිදී කාසි පිරවුණු මලු 8 ක් (සමහර වාර්තා අනුව කරත්ත 4 ක්) ත්‍යාග ලෙස ලබා දුන්නා. ඔහු ඒ සල්ලිවලින්:
තමන්ට උදව් කළ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවාට එවකට ඉතා දුර්ලභ මෝටර් රථයක් තෑගි කළා.
පරබැද්ද සහ පුරන්වෙල (එරබැද්ද) ගම්මානවලට දින දෙකක් පුරා මහා දානයක් දීලා, සෑම ගම්වැසියෙකුටම රිදී කාසිය බැගින් තෑගි කළා.

ජටාවෙන් උපන් දෙමෝදර රේල් ගැටය
මේ පාලම අයිති වෙන්නේ ලොව එකම ආකාරයේ ඉංජිනේරු විස්මයක් වන “දෙමෝදර රේල් ගැටයටයි”. කඳුකරයේ උස ප්‍රශ්නය විසඳන්න බැරුව ඉංජිනේරුවන් ලතවෙද්දී, වතු අධීක්ෂකයෙක් (කන්ගානිවරයෙක්) තමන්ගේ හිසේ බැඳි ජටාව (Talappawa) ගලවලා ආපහු බඳින විදිහ දැකලා තමයි මේ වටරවුම් දුම්රිය මාර්ගය නිර්මාණය කරන්න අදහස ලැබිලා තියෙන්නේ. මේ සැලසුමේ ප්‍රධානියෙක් ලෙස ලංකාවේ විදුලි බලයේ පියා වන ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතා ද සුවිශේෂී මෙහෙවරක් කළා.
ඇයි මේකට “ආරුක්කු නවයේ පාලම” කියන්නේ?
පාලම යට සිට ඉහළ බලන විට ආරුක්කු නවය හරහා අහස නව වතාවක් දර්ශනය වන නිසයි මෙය ‘අහස් නවයේ පාලම’ හෙවත් Bridge in the Sky ලෙස හැඳින්වෙන්නේ.

අදටත් අභිමානයෙන් නැගී සිටින මේ පාලම, යටත් විජිත සමයේ සුදු ඉංජිනේරුවන් පවා මවිත කරපු අපේ රටේ සැබෑ “වැඩ්ඩන්ගේ” ජීවමාන සාක්ෂියක්!
උපුටාගැනීමකි..







