BREAKING NEWS
Search

ජනපති අතින් මුල්ගල තැබූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහා නතර කිරීමට සිදුව ඇත්තේ ඇයි ?

346

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් මුල් ගල තැබූ යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්, අවශ්‍ය පරිසර අගැයීම් වාර්තාව ලබා නොදී ඇති හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය නියෝග දී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය **තිලක් හේවාවසම්** පැවසුවේ, ක්‍රීඩාංගණ ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාරිසරික බලපෑම් අගැයීම් ලබා දී ඊට අනුමැතිය ලැබීම තෙක්, දැනට ආරම්භ කර ඇති වැඩ නවතා දමන ලෙස අධිකාරිය උපදෙස් ලබා දී ඇති බවය.

 වැඩ මුල්ගල් තැබීම

2025 සැප්තැම්බර් 01 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ක්‍රීඩාංගණයේ, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමට හැකි වන බව ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබුණි.

කෙසේ වෙතත්, මධ්‍යම පරිසර අධිකාරියෙන් අවශ්‍ය අනුමැතිය නොලැබීම හේතුවෙන් ඉදිකිරීම් නවතා, අදාළ අගැයීම් වාර්තාව සැකසීමට උපදෙස් දී තිබේ. මහාචාර්ය තිලක් හේවාවසම් පවසන්නේ, “එන්වයර්මන්ට් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් එකක් සම්පූර්ණ කර, අනුමැතිය ලබා දීම අවශ්‍යය” යනුවෙනි.

 

පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ, යාපනය, මණ්ඩතිව් දූපතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට තෝරාගත් භූමිය සුවිශේෂී තෙත් බිම් පද්ධතියක කොටසක් බවය. ක්‍රීඩාංගණ ඉදිකිරීමෙන් මෙම පද්ධතිය විනාශ වීමට ඇති අවදානමක් පවතින අතර, එය කුඩා ධීවර කර්මාන්තය, සංක්‍රමණික පක්ෂීන් සහ ආර්ථිකයට බලපෑම් ඇති කරන බවත් ඔහු අවධාරණය කරයි.

“මෙම ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට අමතරව ගොල්ෆ් ක්‍රීඩාංගණ, නිවාස සහ හෝටල් සංකීර්ණයක් ඇතුළුව දැවැන්ත ක්‍රීඩා නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එම සියල්ල සිදු වන්නේ නම්, තෙත් බිම් පද්ධතිය හා කුඩා ධීවර කර්මාන්තයට විශාල හානි සිදුවනු ඇත,” යනුවෙන් සජීව චාමිකර නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 නීතිමය අවශ්‍යතා

අක්කර 10කට වැඩි තෙත් බිම්ක් ගොඩ කිරීමට පෙර පරිසර බලපෑම් තක්සේරු කර, ලිඛිත අනුමැතිය ලබා ගැනීම නීතිමය වගකීමකි. හෙක්ටයාර් දෙකකට වැඩි තෙත් බිම් සඳහා පුරාවිද්‍යා හානි අගැයීම සිදුකර, අනුමැතිය ලබා ගැනීමත් අවශ්‍ය වේ.

සජීව චාමිකර අවධාරණය කරන්නේ, ක්‍රීඩාංගණ ස්ථාපනයේදී පරිසරයට හා ජන ජීවිතයට බලපෑම් නොවන ස්ථාන තෝරා, නිවැරදි අනුමැතිය සහිතව සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

“පසුගිය ආණ්ඩුවල වැරදි සැලසුම් හේතුවෙන් පරිසරය, ආර්ථිකය සහ ජන දිවිය බිඳ වැටී ඇති ආකාරය අපට දැකිය හැකි අතර, වත්මන් ආණ්ඩුවෙන් අප බලාපොරොත්තු වන්නේ ක්‍රමවත්, යථාර්ථවාදී සහ ජනතාවාදී සංවර්ධන ක්‍රියාවලියක්” යනුවෙන් සජීව චාමිකර වැඩිදුරටත් පැවසීය. (Ape Rata)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!