ඉතා කම්පනීය හා සංවේදී සිදුවීමක් වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ අද (ජූනි 3 ) උදෑසන වාර්තා විය. සිය ගැබිනි බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව, ඇගේ හිස පොලිතීන් බෑගයක දමාගෙන පුලියන්කුලම පොලිස් ස්ථානයට පැමිණ තමන් විසින්ම බාර වූ සැමියෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
අද උදෑසන පුලියන්කුලම පොලිස් ස්ථානයට යතුරුපැදියකින් පැමිණි තරුණ පුරුෂයෙක් තමා අතැති පොලිතීන් බෑගය තුළ සිය බිරිඳගේ හිස ඇති බවත්, ඇයව ඝාතනය කර ශරීරය වනාන්තර ප්‍රදේශයක හැර දමා ඇති බවත් පවසා ඇත. මෙයින් කම්පනයට පත් පොලිස් නිලධාරීන් වහාම අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව, මියගිය කාන්තාවගේ සිරුර සින්නපූවරසන්කුලම් අසල පිහිටි වනාන්තර ප්‍රදේශයකින් සොයාගෙන ඇත.
මෙම සිදුවීමේ ගොදුර වූයේ අනන්තර්පුලියන්කුලම් නොච්චිකුලම් හි පදිංචි, වයස අවුරුදු 32ක් වූ සුකිර්තරන් ස්වර්ණලතා නම් ගුරුවරිය යි. ඇය ගැබිනි මවක් බව වාර්තා වේ. ඇය වවුනියාව උතුරු ප්‍රදේශයේ රජයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කර ඇත.
සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුල් පැවති බව වාර්තා වේ.
අද උදෑසන නොච්චිකුලම් ප්‍රදේශයේ සිට දෙදෙනාම යතුරුපැදියකින් පුලියන්කුලම දෙසට ගමන් කර ඇත. ඒ අතරතුරදී සින්නපූවරසන්කුලම් අසල වනාන්තර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු වී ඇතැයි සැක කෙරේ.
සිදුවීමට සම්බන්ධ සැකකරු යාපනය ප්‍රදේශයේ කො.සුකිර්තරන් නම් පුද්ගලයා බව හඳුනාගෙන ඇති අතර, ඔහු තමන් විසින්ම පොලිස් ස්ථානයට පැමිණ ඝාතනය සිදු කළ බව පිළිගෙන ඇත.
වඩාත් විස්තරාත්මක තොරතුරු වලට අනුව, මානිප්පායි ප්‍රදේශයෙන් පැමිණි සැමියා, අදාළ ගුරුවරිය සමඟ පෙම් සබඳතාවයකින් පසු විවාහ වී ඇත. කෙසේවෙතත්, ගුරුවරිය වෙනත් තරුණයෙකු සමඟ සබඳතාවයක් පවත්වා ගෙන ගිය බවට සැමියා චෝදනා කර ඇති අතර, මේ හේතුවෙන් දෙදෙනා අතර නිරන්තර ආරවුල් ඇති වී ඇත. දින කිහිපයකට පෙර, දෙදෙනා තම ගැටලු විසඳාගෙන සමඟිව සිටි නමුත් තරුණයා නැවත සිද්දිය ඇවිස්සීමෙන් පසු මෙම වියවුල හටගෙන ඇත.
ගුරුවරිය සමඟ සබඳතාවයක් පැවැත්වූ බව කියන තරුණයා, ඔවුන් දෙදෙනා සමීපව සිටින ඡායාරූප සැමියාට යවා ඇත්තේ පසුගිය දිනකදීය. මෙයින් කෝපයට පත් සැමියා, බිරිඳගේ සහෝදරයාට ද මේ බව දන්වා ඇත.
පසුව, මෙම ගැටලුව පොලිස් ස්ථානයක දී විසඳා ගැනීමට හැකි බව පවසමින්, ඔහු බිරිඳව කැඳවාගෙන පොලිසියටද ගොස් ඇත. එම ගමන එන අතරදී, නයිනාමඩු වනාන්තර ප්‍රදේශයේදී බිරිඳගේ ගෙල කපා ඝාතනය කර, හිස වෙන් කොට ප්ලාස්ටික් බෑගයක දමා, පුලියන්කුලම් පොලිස් ස්ථානයට පැමිණ ඇත.
සැකකරු තම බිරිඳව මරා නයිනාමඩු වනාන්තරයේ දමා ඇති බව පැවසීමෙන් පසු, පොලිසිය මෘත ශරීරය සොයා ගැනීමේ මෙහෙයුමක නිරත වී අවසානයේ සිරුර සොයාගෙන ඇත. පුලියන්කුලම පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
පොලිසිය විසින් දැනට කරන ලද මූලික පරීක්ෂණවලට අනුව, මෙම ඝාතනයට හේතුව අනියම් සබඳතාවයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසයි. සැකකරු බිරිඳගේ හිස සහිත යතුරුපැදිය පුලියන්කුලම් පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙන විත්, ස්ථානාධිපතිවරයාට සහ අනෙකුත් නිලධාරීන්ට සිදු කළ අපරාධය පිළිබඳව දැනුම් දී පොලිසියට භාර වී ඇත.
මෙම සිදුවීම ප්‍රදේශයේ පදිංචිකරුවන් තුළ දැඩි කම්පනයක් හා භීතියක් ඇති කර ඇත. විශේෂයෙන්ම ගැබිනි මවක් වූ පාසල් ගුරුවරියක මෙලෙස ඝාතනය වීම ප්‍රදේශවාසීන් අතර දැඩි කනගාටුවට හේතු වී ඇත.
මෙම දරුණු ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දිගටම පැවැත්වෙන අතර, ඝාතකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.