BREAKING NEWS
Search

දරුවාගේ ඇස් උඩ ගිහිල්ලා තිබුණේ. ළමයගෙ පිටේ කේබල් පාරවල් තිබුණා

23

“පුතා මට කිව්වා අම්මේ මාව පොලිසියෙන් අරගෙන යනවා මාව බේරගන්න කියලා” – යුක්තිය සොයා ගන්න නිමේෂයකට ගොඩ එන සත්සර

‘දරුවාගේ ඇස් උඩ ගිහිල්ලා තිබුණේ. ළමයගෙ පිටේ කේබල් පාරවල් තිබුණා. මේ ගහපු පාරවල්වලට ඇඟ හැමතැනම ඉදිමිලා තිබුණේ. දරුවාගේ නියපොතුවල ඉඳලා කළුවෙලා තිබුණේ. මං දරුවාගේ නළල ඉම්ඹා”

තවත් අබිරහස් මරණයක් රට හමුවේ තබා අවසන් ගමන් ගිය සත්සර නිමේෂ්ගේ මව මේ කතාව කියන්න පටන් ගත්තේය.

සත්සරගේ ගම මීගහකිවුල, පහළගෙදර “තුරුලිය සෙවණයි.”මුතුවාඩියගේ සත්සර නිමේෂ් ලෙස උප්පැන්නේ සඳහන් ඔහු මේ ඛේදවාචකයට අසුවන විට 26 හැවිරිදි ලස්සන ඉලන්දාරියකු විය.

“මගේ පුතා හොඳට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වුණා. පස්සේ නර්තන අංශයෙන් ඉදිරියට ගියා. විවිධ නර්තන තරගවලින් ඔහු දක්ෂතා පෙන්නුවා. මුළු ගමේ මිනිස්සුම එයාට ආදරේ. එයාගේ යාළුවොත් එහෙමයි. රූපවාහිනි නාළිකාවල පවා ඔහුගේ නර්තන වැඩසටහන් ගිහින් තිබුණා. කොහොම හරි පුතා 2018දී කුරුණෑගල රැකියාවකට ගියා. එයාගේ මුල්ම රැකියාවයි. පස්සේ කොළඹ ආවේ වෙනත් රස්සාවක් කරන්න. මේ අතරේ විදෙස්ගත වෙන්න පාඨමාලාවක් පවා ඔහු හැදෑරුවා. පුතා කොළඹ හිටියේ පන්සලක නැවතිලා. ඒත් මේ සිද්ධිය වෙන්න දින කිහිපයකට කලින් එයා වෙන බෝඩිමකට ගියා. පුතා දවසකට සැරයක් හරි මට කතා කරනවා. අලුතෙන් ගිය බෝඩිමත් හොඳයි කියලා මට පුතා කිව්වා.”
‘පස්සේ පුතාගේ යාළුවා, තෙනුක මට කතා කරලා කිව්වා “අම්මා නිමේෂ් මල්ලිව පොලිසියෙන් අරගෙන යනවා පොඩ්ඩක් බලන්න” කියලා.

“ඒ එක්කම පුතාට කතා කළා. පස්සේ පුතා මට කිව්වා අම්මේ මාව පොලිසියෙන් අරගෙන යනවා මාව බේරගන්න කියලා.”

“පස්සේ මං එක දිගට කෝල් ගැහුවත් පුතාගෙන් කිසිදු ආරංචියක් වුණේ නැහැ. මම කිහිපපාරක්ම ගත්තා ඊට පස්සේ එකම එක පාරක් වෙන කෙනෙක් ෆෝන් එකට කතා කළා. “කවුද කතා කරන්නේ” කියලා ඇහුවා මම කිව්වා “දරුවාගේ අම්ම කියලා. “සර් මෙයාගේ අම්මා කියලා කතා කරනවා.” පස්සේ මං ඒ කතා කරපු සර්ට කිව්වා, “මගේ පුතාට ගහන්න එපා” කියලා. මං බැගෑපත් වුණා මම ඉක්මනට එනවා කියලා.

“මං පහුවදාම වැලිකඩ පොලිසියට ගියා. එතැන කූඩුවල කිහිපදෙනෙක්ම හිටියා. ඒත් ඒ මගේ පුතා නෙමෙයි. පස්සේ මං ඕ.අයි.සී. මහත්තයව හම්බවුණා. ඔහු මගෙන් විස්තර ඇහුවා. මට තව ළමයි ඉන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මාත් එක්ක තේ එකක් බොමු කියලා. මං කිව්වා මට මේ මුකුත් නෙමේ ඕනේ මගේ දරුවා ඕනේ කියලා. ඔහු මට කිව්වා දරුවා ටිකක් අසනීපවෙලා එයාව මුල්ලේරියා රෝහලට අරන් ගියා කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් නිලධාරියෙක් ඇවිල්ල ඇහුවා “මේ අර මැරුණු කෙනාගේ අම්මද?” කියලා.

සත්සරගේ අබිරහස් මරණය මෙලෙස දිගහැරෙන්නට පටන් ගත්තේය. සත්සරගේ පියා තුෂාරය. මව සමන්තිය. ඇය ලක්මාතාව වෙනුවෙන් යුද හමුදා සේවයට බැඳී වසර විස්සකට අධික සේවා අත්දැකීම් ලත් නිලධාරිනියකි. ඒ නිසාම ඇයට තමාගේ දරුවාට සිදුවූයේ කුමක්ද යන්න ඒ මොහොතේ වටහා ගැනීමට හැකි වූවාය.

සත්සර ලේ තිබූ ඇඳුම් වගේම කුඩුපට්ටම් වූ ජංගම දුරකථනයද මේ වන විට පොලිස් සාක්ෂි ලෙස නිහඬව ඇත. සත්සරගේ ඥාතීහු චෝදනා කරන්නේ මෝචරියේදී අන්දවා තිබූ කලිසම පවා සත්සරගේ නොවන බවයි.

නාවල ප්‍රදේශයේ නිවෙසකට තාප්පෙන් පැන්නා යැයි 119 පොලිස් ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් එහි සිටි සත්සරව පොලිසිය කුදලාගෙන ආ බව වැලිකඩ පොලිසිය කියයි.

එසේම මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සිය මාධ්‍ය කොට්ඨාසය හරහා මෙලෙස නිවේදනයක් නිකුත් කළේ අප්‍රේල් තුන්වැනිදාය.

එහි සඳහන් වූයේ අප්‍රේල් පළමුවැනිදා රාත්‍රි කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවෙසකට පුද්ගලයකු ඇතුළු වී සිටින බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් අනුව වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවය.

පොලිස් නිලධාරීන් එම නිවෙසට ඇතුළු වූ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී යම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් මෙම අයගේ ආරක්‍ෂාව සඳහා වහාම පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බවද එම නිවේදනයේ දැක්විණි.

පොලිස් ස්ථානයේදී මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරීමෙන් සිරමැදිරිය ආශ්‍රිතව බිත්තියේ ඔහුගේ ශරීර කොටස් වද්දාගනිමින් නිලධාරීන්ට පාලනය කර ගැනීමට නොහැකි වන ආකාරයට හැසිරී ඇති බවද එම නිවේදනයේ සඳහන් විණි.

ඒ අනුව නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා මෙම සැකකරු අංගොඩ මානසික රෝහල වෙත රැගෙන ගිය බවත් සැකකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුවදා අලුයම ජීවිතක්ෂයට පත් වූ බවත් එම නිවේදනයෙහි දැක්විණි.

මහජන මිත්‍රශීලී පොලිසියක් මෙරට තුළ නැත. පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය එකම කෙනා සත්සර නොවේය. නමුත් මෙහිදී රටට වගකියන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද ඔහුගේ කාර්යාලයද වැලිකඩ පොලිසිය පවසන දේ මාධ්‍යයට නිරාවරණය කළේ එම තරුණයාගේ චරිතයද ඝාතනය කර දමමිනි.

කෙසේ වෙතත් ඊට දින කිහිපයකට පසු මෙම මරණය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය වූ නිසා මීට අදාළ විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේය.

ඒ මීට පෙර මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සිදුකරන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරමිනි.

මෙම මරණයෙන් කම්පා වූ සත්සරගේ මිත්‍රයන්, ඥාතීන් සේම මේ හෙළා දැකි බොහෝ දෙනකු වැලිකඩ පොලිස් ස්ථානය ඉදිරිපිට සේම ඔහුගේ ගමෙහි විරෝධතා දියත් කළේය.

මේ අතර මෙම තරුණයාගේ දේහය නැවත ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍යවරු තිදෙනකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කළේය.

ඒ අගතියටපත් මියගිය තරුණයාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බලමිනි.

මින්පෙර පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම මරණයට හේතුව නිශ්චිතව අනාවරණය කරගැනීමට නොහැකි වීමත් හේතුවෙන් ඔහුගේ දේහය මෙලෙස ගොඩගැනීමට නියෝග කළේය.

මේ අතර මෙම තරුණයාගේ ළඟම මිත්‍රයන්ගෙන් පවා ඔහුගේ හැසිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තීරණය කොට ඇත.

මේ වන විටත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කිරීමටත් එසේම මේ පිළිබඳ විමර්ශන කළ වැලිකඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමටත් පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.

දැනටමත් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 14 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කොටගෙන ඇත.

දැනට වැලිකඩ පොලිසියේ ප්‍රකාශ මත මානසික ලෙඩකු වී හයේ හතරේ වළක් තුළ නිහඬව සිටින සත්සර තව දින කිහිපයක් තුළ නැවැත ගොඩ එනු ඇත.

ඒ තීරණාත්මක විමර්ශනයකට සහාය වීම සඳහාය. තවත් කිහිපදෙනකුගේ මරණ දණ්ඩනය මේ විමර්ශන මත ලියැවෙනු ඇත. හැමෝගෙම ප්‍රාර්ථනය සත්සරට යුක්තිය ඉටුකර දීමටය.
චාමර අමරසූරිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *