පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය නොවූ තොරතුරු රැසක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පහතා පවසනවා.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
එහිදි මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
‘‘ඒ හයසීය දාසයේ කාමර අංකෙ විතරක් අප්‍රේල් දාහතර වෙනිදායි පහළොස් වෙනිදයි නවාතැන් ගෙන හිටියේ කවුද කියන එක වාර්තා වෙන්නේ නැහැ. කවුද ඒ කාමරයේ නවාතැන් ගෙන හිටියේ? ඒ කාමරවල දොරවල් අරින්න, පාවිච්චි කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක්. අනෙකුත් හැම කාමරයේම ඒ කාමරයේ ගත්ත එක්කෙනාගේ නම සඳහන් වෙලා තිබෙනවා. ඒ කාමරවල පාවිච්චි කරනකොට ඒ දොරවල් අරිනකොට. අප්‍රේල් මාසයේ දහනමවෙනිදා ඒගොල්ලෝ මේ කාමරය අරිනකොටත් ගේ නම ඒ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකේ සඳහන් වෙලා තියෙන බවට වාර්තා වෙලා තිබෙනවා.
නමුත් අප්‍රේල් මාසේ දාහතර වෙනිදා ඉඳන් ඒ කාමරයට සහරාන්ලා දහනම වෙනිදා එනකන් ඒ කාමරයේ හිටපු අය කවුද කියන එක වාර්තා වෙලා නැහැ. ඒක දැන් මේ පරීක්ෂණයට භාජනය කරලා තියෙනවද? දැන් අපි ගිය ආණ්ඩුව කාලේ ඕක අහනකොට එවකට හිටපු මේ පොලිසිය පිළිබඳව ආරක්ෂක ඇමතිතුමා කිව්වා නැහැ එහෙම මුකුත් නැහැයි කියලා එයා උත්තරයක් දුන්නා. එහෙම මුකුත් නැහැයි කියලා කියන්න බැහැ. මොකද උසාවියේ වාර්තාවල් වල කට උත්තර ලබා දීමේදී ෂැංග්‍රිලා ආයතනයේ කළමනාකරුවන් ඔවුන් පිළිඅරගෙන තිබෙනවා සහරාන් මේ කාමරයට එන්න කලින් යම් පිරිසක් මේ කාමරයේ රැඳී සිටියයි කියන එක.
දැන් සහරාන්ගේ කාමරයට කාමර තුන හතරක් ඈතින් කාමරයක් තිබුණා. ඒක තමයි කාමර අංක හයසිය විසි තුන. දැන් ඒ හයසිය විසි තුනේ අය මේ බෝම්බ පිපිරීමත් එක්ක අතුරුදහන් වෙනවා. දෙන්නෙක් අතුරුදහන් වෙලායි කියලා හොයාගන්නවා. ඒ දෙන්නා කවුද? දැන් මේ පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් ඒ දෙන්නව අඳුරගෙන තියෙනවද? අපිට ඕනේ ඒ දෙන්නා ලාංකිකයෝද විදේශිකයෝද?”