ගාල්ල ධීවර වරායට ගෙන ආ ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික මත්ද්‍රව්‍ය

21

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මත සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික විෂ මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වී ඇතැයි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසයි.

අද (13) එම යාත්‍රාව ගාල්ල ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව එහි නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ‘යසිරු පුතා’ නැමැති ධීවර යාත්‍රාව පසුගිය 11 වැනි දින සිය භාරයට ගනු ලැබීය.

එහිදී එම යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකුද නාවික හමුදාව සිය භාරයට ගනු ලැබූ අතර පසුව එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අද උදෑසන ගාල්ල ධීවර වරායට රැගෙන එනු ලැබීය.

එහිදී සිදුකළ පරීක්ෂාවේදී ඒ තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සනාථ කරගනු ලැබීය.

ඒ අනුව යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 60කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50කට වැඩි ප්‍රමාණයක් තිබූ බවටද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගනු ලැබීය.

කෙසේ වෙතත් අදාළ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම මත්ද්‍රව්‍යවල සමස්ත බර කිලෝග්‍රෑම් 110කට අධික බවද පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා,

“නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙන්නේ මිරිස්ස ධීවර වරායෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක්. ඒකේ සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා ඒ යාත්‍රාවත් සමගම. එහි දැනට තියෙන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සනාථ කරගෙන තියෙනවා සිදුකර පරීක්ෂණ මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 60කට කිට්ටුව ඇති කියලා. ඒ වගේම අයිස් මත්ද්‍රව්‍යත් කිලෝ 50කට වැඩියි. සම්පූර්ණයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 110කට වැඩි විෂ මත්ද්‍රව්‍ය තියෙනවා. මේකේ මිල  ගත්තොත් වීථිවල මිල අනුව ගත්තාම රුපියල් බිලියන එකහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් වගේ දැනට නිශ්චය කරන්න පුළුවන්. නමුත් මේක දැනට සිදුකරන පරීක්ෂණ අනුව වෙනස් වෙන්න පුළුවන්.” 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!