යුදබිමේ මෙන්ම ඉන් පසුවත් ලක්මවට විශිෂ්ට මෙහෙයක් කළ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මිලින්ද පීරිස් මහතාගේ ජීවිත කතාව අද එළිදැක්වෙනවා. 1980 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී 2016දී මේජර් ජෙනරාල් වරයකු දක්වා උසස් වේ, යුධ හමුදාවේ 47 වැනි මාණ්ඩලික ප්‍රධානියා වන තුරු වසර 36ක් රට වෙනුවෙන් සේවය කළා. 2008දී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක සරසවියේ උපකුලපති ලෙස පත්වීම් ලබන එතුමන් 2016දී විශ්‍රාම යනවා. විශ්‍රාම ගියත්, ආපසු 2019දී දෙවැනි වරටත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක සරසවියේ උපකුලපතිවරයා ලෙස සේවයට එන එතුමන්, 2023 දක්වා එම තනතුරේ සේවය කරනවා.
මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ව බොහෝ දෙනා දන්නේ නැගෙනහිර මුදාගැනීම සඳහා වූ සටනේදී 22වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා වීම නිසයි. එහෙත් ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ මෙහෙවර බොහෝ දෙනා දන්නේ නැහැ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කමිටු සාමාජිකයකු, ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයකු, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තත්වපාලන සහ ප්‍රමිතිකරණ මණ්ඩල සාමාජිකයකු ලෙසද එතුමන් සේවය කර තිබෙනවා. ලෝක විශ්වවිද්‍යාල කුලපති සහ උපකුලපති කොංග්‍රසයෙන් “අධ්‍යාපනයට කළ සේවාව සඳහා වූ විශිෂ්ටත්වයේ සම්මානය” සහ ලෝකා අධ්‍යාපන කොංග්‍රසයෙන් පිරිනැමෙන “අධ්‍යාපන සේවා සඳහා වූ විශිෂ්ටත්ව සම්මානය” ද ඔහු ලබාගන්නේ ඒ නිසයි. ඒ වගේම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමට ඔසොවා තැබීමේ පුරෝගාමියා එතුමන් බව රහසක් නොවෙයි.
“Beyond Rank: The Leadership and Legacy of Major General Milinda Peiris” කෘතිය සාමාන්‍ය හමුදා ජීවිත කතාවකට සීමා නොවන්නේ ඒ නිසයි. කිත්සිරි අමරතුංග විසින් රචිත ඒ මහතාගේ ජීවිත කතාව විජිත යාපා ප්‍රකාශනයක් ලෙසින් අද සවස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙදී එළිදකිනවා.
නිලතල සහ තනතුරු අවසන් වුවත් රාජකාරිය අවසන් නොවන බවට ජීවමාන උදාහරණයක් වන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් රණවිරුවන්ට, විවේකී සහ සුව විශ්‍රාම දිවියක් ලැබේවා!








