මීමැස්සන් මිලියන 250ක් රැගත් ට්‍රක් රථයකට සිදුවූ අණතුරකින් පසුව එම මී මැස්සන් පලාගොස් තිබෙන පුවතක් ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.
මහා පරිමාණ ගොවිපලවල වගාකරන බෝග වර්ග පරාගණය කිරීම සදහා, එම අවට පරිසරයේ වෙසෙන මීමැස්සන් ගහණය ප්‍රමාණවත් වෙන්නේ නෑ. විශේෂයෙන්ම වසරකට එක්වරක් පමනක් මල් හට ගන්නා ඇපල්, බෙරි, දොඩම්, කොමඩු වැනි පළතුරුවර්ග පිෂ්ටාෂියෝ, ආමන්ඩ් වැනි ඇට වර්ග සහ එළවළු වර්ග වවන බිම්වල වාසය කරන මීමැස්සන්ට වසර පුරාවටම ආහාර ලැබෙන්නේ නෑ. ඒ වගේම විවිද කාලවලදී එම ගොවිපලවල භාවිතාකරන කෘෂි රසායන සහ විවිද පාරිසරික හේතූන් නිසා අවට පරිසරයේ මීමැසි ගහණය අඩු වෙන්නත් පුළුවන්.
මෙයට විසදුමක් ලෙස, ගොවිපලේ බෝගවල මල් පිපෙන කාලයට එම සේවාවන් සපයන සමාගම්වලින් මීවද කුලියට ගන්න ගොවීන් කටයුතු කරනවා. ට්‍රක් රථ මගින් ප්‍රවාහනය කෙරෙන මීවද පෙට්ටි ගොවිපලේ තෝරාගත් ස්ථානවල රදවා බෝගවල පරාගණය සිදු කරනවා. අනතුරුව එම මීවද සේවාවන් අවශ්‍ය වෙනත් ගොවිපලක් වෙත ප්‍රවාහනය කරනවා. මේ ක්‍රමයට මිනිසුන්ට අවශ්‍ය පලතුරු, එළවලු සහ ඇටවර්ග නිපදවා වෙළදපල ඉල්ලුම සපයන්න ගොවිපලවල් ක්‍රියාකරනවා.
වොෂින්ටන් ප්‍රාන්තයේ, කැනඩා දේශසීමාව අසලදී අණතුරට ලක්වූ ට්‍රක් රථයේ රාත්තල් 70,000ක බරින් යුතු මීවද ප්‍රවාහනය කෙරුණ බවත්, එම මීවද වල මීමැස්සන් මිලියන 250ක් සිටි බවත් සදහන් උනා. අණතුරෙන් පසුව එම මීමැස්සන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. මේ නිසා පොලීසිය එම මාර්ගය තාවකාලිකව භාවිතා නොකරන ලෙස මහජනයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ වගේම ප්‍රාදේශිය මීවද ගොවීයන් මේ අණතුරුවූ ස්ථානයට ස්වේච්ඡාවෙන් පැමිණ එම මීමැස්සන් බේරාගැනීමට උදව්වන බව සදහන් උනා. මීවදවල රැජිණියන් සොයාගෙන ඔවුන් මීවදයේ නැවත තැම්පත්කල පසු, මීමැස්සන් එම වදයට නැවතත් එනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.