BREAKING NEWS
Search

අදානි ගිය නිසා මෝදි කෝපයෙන්..ලංකාවට හදිසියේ එන්නේ ඒ නිසා – රනිල්

115

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද බක් මහේ පළමු සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී කළ ආරාධනාවකට අනුව ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමට නියමිතය.

එම සංචාරය වන්නේ මෝදිගේ හිතවතකු වන ඉන්දියාවේ අදානිට අයත් අදානි සමාගම මන්නාරම විදුලි බලාගාර ව්‍යාපෘතියද අකුලාගත් පසුබිමක වීම විශේෂත්වයකි. තවද එම ව්‍යාපෘතිය සැබැවින්ම අකුලා ගන්නේද යන්න දැනුම් දෙන ලෙසට බලශක්ති අමාත්‍යාංශය කළ දැනුම්දීමකට අදානි සමාගම බ්‍රහස්පතින්දා වනතුරු පිළිතුරක් දී නොතිබිණි. ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කළේ බදාදාය.

එම නිවේදනයෙන් පැය විසිහතරක් යෑමට පෙර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැමිණියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමටය. ඒ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට. පැය දෙකක පමණ කාලයක් ඔවුන් තිදෙනා පමණක් රහසිගත සාකච්ඡාවක නිරත වූහ. වෙනත් දිනවලදී ඉන්දීය නියෝජිතයන් පැමිණෙන විට හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු ද වන සාගල රත්නායක ද එක් වුවද ඔහු මෙම සාකච්ඡාවට එක් වූයේ නැත. මෙම සාකච්ඡාවේදී 2023 වසරේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය ආණ්ඩුව අතර අත්සන් කළ ගිවිසුම් ඉදිරියට ගෙන යාම, තිරිකුණාමලයේ තෙල් නළ සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී ද, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙවරක් හමු විය. එහිදී අදානි ව්‍යාපෘතිය නතර කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග කෙරෙහි අගමැතිවරයා දැඩි කනස්සල්ලෙන් කතා කර තිබේ. ඉන්දීය ආණ්ඩුවේ නිලධාරින්ද ඒ ගැන කතා කළේ දැඩි කනස්සල්ලෙනි. ඉන්දීය සංචාරය නිමවා දිවයිනට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට පැමිණි පසු මෝදිගේ හමුවීම ගැන හිටපු මන්ත්‍රිවරු විමසූහ.

‘‘ගෙදරට ඇවිත් සැලකුම් ලබලා ලංකාවට ගිහින් පස්ස හැරෙව්වා වගේ වැඩක් ආණ්ඩුව කළේ’’ යැයි ඉන්දියාව හිතනවා. යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි තියෙන්නේ. ඉන්දීය අගමැතිවරයා ලංකාවට එන්නේ ඉතිරි වැඩටික කර ගන්න. හැබැයි මෝදිගේ සංචාරය ගැන ආණ්ඩුව වැඩිය කතා කරන්නේ නැහැ’’ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

– උදයජීව ඒකනායක
අරුණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *