BREAKING NEWS
Search

පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුන හැටි හෙළිවෙයි !

1016

 

වසර 2014 සිට ලබා දී ඇති බුද්ධි තොරතුරු වාර්තා මත යුද හමුදා බුද්ධි අංශ ක්‍රියා කළේ නම්, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවත් මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහය පවත්වා ගෙන ගිය තොරතුරු ගොනුවෙන් මේ වන විට එම තොරතුරු ඉවත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

වවුනතිව් පොලිස් මුරපොළේ (2018 නොවැම්බර් 30) රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සිදුකළ එකක් බවට යුද හමුදා බුද්ධි අංශයට තොරතුරක් ලෙස ලැබී ඇතත් එය ද ඔවුන් වසන් කර ඇති බව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහය වෙත එම තොරතුරු ලබා දී ඇත්තේ තොරතුරුකරුවකු වන මොහොමඩ් කලිල් මොහොම්මදු මස්ෆි නොහොත් නසීර් නම් අයකු විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට තවදුරටත් කරුණු වාර්තා කරමින් දක්වා ඇත්තේ, තොරතුරුකරු සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට පෙර විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහය වෙත තොරතුරු ලබා දී ඇති බවය.

මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහයේ අණදෙන නිලධාරි ඇතුළු බුද්ධි නිලධාරීන් හා බුද්ධි සාමාජිකයන් එම තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැති බවද , 2014 වර්ෂයේ සිට ලබා දී ඇති බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා වූ සමූහය පවත්වාගෙන ගිය ගොනුවෙන් මේ වන විට ඉවත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

තොරතුරුකරුගේ ප්‍රකාශය මත පදනම්ව ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ එවකට අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ කර්නල් කැලුම් සිරිපති මද්දුමගේ, මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහයේ සමූහ නායක ලෙස කටයුතු කර ඇති කොහිල මුල්ල ආරච්චිගේ චාමර ප්‍රසාද් කමලවර්ණ, බුද්ධි නිලධාරී කපිතාන් පොල්වත්තේ ලේකම්ලාගේ සුමිත් නිශාන්ත දිසානායක, හමුදා බුද්ධි අංශ සැරයන් සිරිවර්ධනගේ ගයාන් ප්‍රසාද් සිරිවර්ධන හා කෝප්‍රල් මුහන්දිරම් මුදියන්සේලාගේ ගුණසේකර යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම යුද හමුදා සාමාජිකයන් මොහොමඩ් කලීල් මොහොම්මදු මස්ෆි නොහොත් නසීර් තොරතුරුකරුවකු ලෙස බඳවා ගත්තේ වර්ෂ 2019යේ සිට බව ප්‍රකාශ කර ඇති අතර ඔහු සහරාන් හෂීම් පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකළේ 2019 අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට බවත් ප්‍රකාශ කර ඇත. එහෙත් විමර්ශකයන් අනාවරණය කරගෙන ඇත්තේ වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ දිනයේ වාචිකවත් එයින් දින තුනක් ඇතුළත ලිඛිතවත් නසීර් විසින් තොරතුරු ලබාදී ඇති බවය.

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කළ බව ඇඟවීමට හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ යතුරුපැදි ජැකට්ටුවක් ඒ අසල දමා ගොස් තිබුණ බව සඳහන් කර ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට ද පියවර ගෙන තිබිණි. මඩකලපුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම එල්ටීටීඊ සංවිධානය කළ එකක් බවට යුද හමුදා බුද්ධි අංශ පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලබා දී තිබූ බවට ද කරුණු අනාවරණය වී ඇත.

සමන්ති වීරසේකර

source _ Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *