BREAKING NEWS
Search

තාජුඩීන් ඝාතනයට කජ්ජා සම්බන්ධවීම හා මුල් බිරිය හා පුතාගේ ප්‍රශ්නය ඔඩු දුවයි

735

 

තම සැමියා වන අනුර විදානගමගේ හෙවත් කජ්ජා, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බවට තමන් කළ අනාවරණය, සිය පුත්‍රයා විසින් ප්‍රතික්ෂේප කිරීම සහ තම පියාගේ ඝාතනයට මව සැක සහිත බවට කළ ප්‍රකාශය කජ්ජාගේ බිරිඳ තරයේ ප්‍රතික්ෂේප කරයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, රාජපක්ෂවරුන් හෝ කපිල දිසානායක නම් පුද්ගලයා විසින් තම පුත්‍රයා මෙහෙයවනු ලබන බවට තමන්ට දැඩි සැකයක් පවතින බවය.

 

සිය පුත්‍රයාගේ අධ්‍යාපන මට්ටම ඉතා ප්‍රාථමික මට්ටමක පවතින බවත්, ඔහු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ කර තිබූ සටහන ඔහුගේම ලියවිල්ලක් නොවන බවත් ඇය අවධාරණය කළාය. වෙනත් අයෙකු විසින් සකස් කරන ලද දෙයක් සිය දරුවා ලවා සමාජගත කර ඇති බව පවසන ඇය, මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් තමන් ලබා දුන් සාක්ෂිය අවතක්සේරු කිරීම හෝ යටපත් කිරීම බවට චෝදනා කරයි.

කපිල දිසානායකට තම දරුවන්ගේ මරණය පිටුපස ඇති සැබෑව හෙළිවීම වැළැක්වීමේ අවශ්‍යතාව මත මෙම ක්‍රියාදාමය සිදුවන බවද ඇය පෙන්වා දෙයි.

සිය පියා 2012 වසරේදී තාජුඩීන් ඝාතනය වන විට කොළඹ බස් රථයක සේවය කළ බවට පුත්‍රයා කළ ප්‍රකාශය බැහැර කරන බිරිඳ පවසන්නේ, තම සැමියා කරගම්පිටිය ප්‍රදේශයේ බස් රියදුරෙකු ලෙස සේවය කළේ 2009 වසරේ අග භාගය දක්වා පමණක් බවයි. ඔවුන්ගේ පළමු දරුවා 2010 වසරේ ජනවාරි මස උපත ලැබීමෙන් පසු ගම්පළාතට ගිය බවත්, අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ කපිල දිසානායක යන අයගේ මැදිහත්වීමෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරු රැකියාවක් ඔහුට ලැබුණු බවත් ඇය හෙළිදරව් කළාය.

2011 වසරේ සිට 2013 මුල් භාගය දක්වා තම සැමියා එම රැකියාවේ නිරත වූ බවත්, එම කාලසීමාව තුළ කපිල දිසානායක කොළඹ පැමිණි අවස්ථාවන්හිදී ඔහු සමඟ ගමන් බිමන් ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තම පුත්‍රයා, කපිල දිසානායක නැමැත්තාගේ දියණියක සමඟ වසර දෙකක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවද ඇය අනාවරණය කළාය. වයස අවුරුදු 16ක දරුවෙකු මෙවැනි කාරණා සඳහා යොදාගැනීම බරපතල වරදක් බව පවසන ඇය, මේ පිළිබඳව වහාම නීත්‍යානුකූල පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටී.

තම ජීවිතයට සහ දරුවාගේ ජීවිතයට අනතුරක් පවතින බව පෙන්වා දෙන ඇය, එවන් අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම කපිල දිසානායක ඇතුළු තාජුඩීන් ඝාතනයට සම්බන්ධ සියලු දෙනා විසින් දැරිය යුතු බවට ප්‍රකාශ කළාය.

මේ අතර, තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, පසුගිය කාලයේ පැවති රනිල් වික්‍රමසිංහ සතිය, අයිස් සතිය මෙන් දැන් “තාජුඩීන් සතියක්” ආරම්භ වී ඇති බවත්, මෙය රාජපක්ෂවරුන් ඉලක්ක කරගත් අභූත චෝදනා මාලාවක් බවත් පැවසීය. මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරන්නේ, තාජුඩීන් සිද්ධියේදී වැරදි බී වාර්තා ලියූ සහ දුරකතන සංවාද සැඟවූ පුද්ගලයන් අද ආණ්ඩුවේ උපදේශකවරුන් වී ඇති බැවින් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බවයි. පොරොන්දු ඉටු කරනවා විනා “කජ්ජා” හෝ “කුජ්ජා” මත වරද පටවා බේරී යාමට උත්සාහ නොකරන ලෙසද ඔහු ආණ්ඩුවට පැවසීය.

ආණ්ඩුව නියෝජනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මෙම අපරාධ සිදුකර ඇත්තේ ගමේ සාමාන්‍ය මිනිසුන් නොව රට පාලනය කළ පාලකයන් විසින් බවත්, ඔවුන් එම අපරාධ වසන් කළ බවත්ය. ජනාධිපතිවරයා නීතිගරුක රටක් ගොඩනැගීමට දුන් පොරොන්දුව අනුව නිසි පරීක්ෂණ සිදුවනු ඇති බවට තමන්ට විශ්වාස බවත්, ආණ්ඩුවේ ඉදිරි කාලය තුළ නීතිය අනුව සියලු වැරදිකරුවන් සිරගත වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *