BREAKING NEWS
Search

L Board CHR එක එද්දී දොළුව පන්සල ගාව උපාසිකාවන් 3 දෙනා පාර මැද්දේ ගිය කතාව බොරුවක්

6629

 

ගම්පොළ දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය අසල පසුගිය පෝයදා සිදු වූ භයානක රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් එක් අයෙකු තුවාල ලබා තිබුණි.
වප් පෝය දිනයේ ආගමික කටයුතුවල නිරත වී පන්සලෙන් පිටතට පැමිණි උපාසිකාවන් පිරිසක් හට වේගයෙන් පැමිණි මෝටර් රථයක් හැප්පී ඇති අතර, එම මෝටර් රථය මාර්ගයේ අයිනේ නවතා තිබූ ලොරියක ද ගැටී ඇත.

 

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ දොළුව නව ගුරුකැලේ පදිංචි හතරකෝරළේ ගෙදර බණ්ඩාර මැණිකේ (69), පල්ලේගෙදර අනුලාවතී මැණිකේ (70) සහ මෙගොඩ කළුගමුව පදිංචි රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ (70) යන අයයි. ඔවුන් අතරින් දෙදෙනෙකු සිල් සමාදන්ව සිටි උපාසිකාවන් වන අතර, අනෙක් අය විහාරස්ථානයට ආගමික කටයුතු සඳහා පැමිණි අයෙකි.

පොලීසිය විසින් පවසන පරිදි, ගුරුකැලේ නිල්ලඹ ප්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි කාන්තාවක් විසින් CHR වර්ගයේ රිය පදවා ඇත. ඇය රිය පුහුණු බලපත්‍රයක් හිමි කාන්තාවක් වන අතර, ගම්පොළ නගරයේ සිට ඇගේ සැමියා මෝටර් රථය පදවාගෙන ඇවිත් දොළුව මාර්ගයේදී ඇයට රිය ලබා දී තිබුණි.

ඇය රිය පදවාගෙන යන අතරතුර දොළුව විහාරස්ථානය අසලදී උපාසිකාවන් පිරිස දැක, බ්‍රේක් තිරිංග වෙනුවට වේග පැඩලය (ඇක්සලේටරය) පාගා ඇති බව පොලීසිය පැවසීය. මෙහිදී ඇගේ මං තීරුවේ වම් පස විහාරස්ථානය අසල නවතා තිබූ ලොරිය හා ඇගේ මෝටර් රථය අතර සිටි උපාසිකාවන් සිව්දෙනා වැදී,

මෝටර් රිය ලොරියේ ගැටී ඇත.

වේගය නිසා ලොරිය යළි මාර්ගයට විසි වී ඇති අතර, මියගිය කාන්තාවන් දෙදෙනෙක් ලොරිය යටට විසි වී තිබුණි. ඉන්පසු මෝටර් රථය කැරකී යළි දකුණට හැරී ගොස් මාර්ගය අසල බැම්මක ගැටී එය නැවතී තිබුණි.
අනතුරෙන් බේරුණු අය

නවීන මෝටර් රථයක් නිසා එහි වායු බැලුම් ක්‍රියාත්මක වී, රිය පැදවූ කාන්තාව, ඇගේ සැමියා හා හත් හැවිරිදි දරු දෙදෙනා තුවාල නොලබා බේරී තිබුණි. සිද්ධියෙන් තුවාල ලැබූ සිල් සමාදන් වූ උපාසිකාවන් දෙදෙනෙකු ගම්පොළ ශික්ෂණ රෝහලට රැගෙන ගිය ද, ඉන් එක් අයෙකු එහිදී මියගොස් තිබුණි. අනෙක් දෙදෙනා සිද්ධි ස්ථානයේදීම මියගොස් ඇත.

මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණය ගම්පොළ රෝහලේදී පසුගිය බදාදා (07) පැවැත්වුණු අතර, ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ සාක්ෂි කැඳවා තිබුණි.

මියගිය බණ්ඩාර මැණිකේගේ සොයුරිය වන හතරකෝරළේ ගෙදර සෝමාවතී මෙසේ සාක්ෂි දුන්නාය:

“පෝය දවසේ මම සිල් අරගෙන පන්සලේ ඉන්නවිට නංගි දානෙත් අරගෙන පන්සලට ආවා. එයා බුද්ධ පූජාවට සහභාගි වෙලා උපාසක ඇත්තන්ට දන් පූජා කළා. ඊට පස්සේ එයත් එක්ක ආව අනුලාවතී එක්ක එයා ගෙදර යන්න පන්සලෙන් පාරට ගියා. එතකොටම මට ඇහුණා. දඩාං ගාලා ශබ්දයක්. එතකොට මිනිස්සු ඔක්කොම කලබල වෙලා පාර පැත්තට දිව්වා. හාමුදුරුවෝ සිද්ධිය දැනගෙන අපට පාරට යන්න එපා කිව්වා. කලබල වැඩි නිසා අපි ටික වෙලාවක් පාරට නොගිහින් හිටියත් පස්සේ ගියා. එතකොට දැනගත්තා රිය අනතුරක් වෙලා මගේ නංගී පාරේ වැටිලා ඉන්නවා කියලා. ඒක මට හිතාගන්නවත් බැරි වුණා.”

තවදුරටත් ඇය සාක්ෂි දෙමින්, “නංගි හැම පෝයකටම පන්සල් යනවා. එයාට දරු දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නම විවාහකයි. එයා බණක් දහමක් කරගෙන හිටියේ. මේ වුණු සිද්ධිය මට හිතාගන්නවත් බෑ” යැයි පැවසුවාය.

මියගිය පොඩි මැණිකේගේ දුව වන ජම්බුගහවත්තේ ගෙදර නිලන්ති දීපිකා සේනාධීර මෙසේ සාක්ෂි දුන්නාය:

“මම බැඳලා තල්වත්ත ප්‍රදේශයේ ඉන්නේ. අම්මා තනියම කළුගමුව ගෙදර ඉන්නේ. ඒත් අපි එදා කළුගමුව මහගෙදර ඇවිත් හිටියේ. පෝය නිසා අම්මා උදේ හයයි තිහට විතර සිල් ගන්න දොළුවට ගියා. මගේ පුතාට නුවර වටපුළුව ප්‍රදේශයේ ක්‍රීඩා උත්සවයක් තිබුණා. ඒ නිසා අපිත් උදේ හතයි තිහට විතර ගෙදරින් ගියා. එහේ ඉන්නවිට දවල් එකයි විස්සට විතර සැමියාගේ මල්ලි කිව්වා. මේ අනතුර ගැන අපි එතැනට ආවා.”

“අම්මා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අපේ තාත්තා 2014 වසරේදී මිය ගියා. අම්මා තනියම හිටියත් එයාට කිසි අසනීපයක් තිබුණේ නෑ. මේ අනතුර නිසා ඇය මියගිය බව විශ්වාස කරනවා.”
මියගියවුන්ගේ පවුල්වල ප්‍රතිචාර

මියගිය අනුලාවතී මැණිකේගේ පුතා වන දොළුව කම්කානම්ලාගේ සාලින්ද කරුණාතිලක මෙසේ පැවසීය:

 

“අම්මා ගෙදර තනියම හිටියේ. එයා බුද්ධ පූජාවත් අරගෙන පන්සලට ගිහින් තිබුණා. දානය බෙදලා ගෙදර එනකොට මේ සිද්ධිය වෙලා තිබුණේ. එතකොටම මම හිටිය වැඩපොළේ. ත්‍රීවීල් එකක් අරගෙන ඒ ස්ථානයට ආවත් බලන්න බැරි වුණා. මම බය වුණා. ඒ නිසා මම එහෙමම ගෙදර ආවා. පහුවදා රෝහලට ඇවිත් අම්මා හඳුනා ගත්තා.”

මියගිය බණ්ඩාර මැණිකේගේ ඥාති පුතකු වන කෝණාර මුදියන්සේලාගේ ආරියතිලක බණ්ඩාර සිද්ධිය ගැන මෙසේ විස්තර කළේය:

“මේ මගේ ලොකු අම්මා. එයා පෝයදා අපේ ගෙදරට ඇවිත් මල් කඩාගෙන ගියා. අපේ ගමේ බෝධියක් තියෙනවා. එයා ඒක පිරිසුදු කර එතැන මල් පූජා කරලා දවල් දොළුව පන්සල් ගියා. මම ගෙදර හිටියේ. දවල් මේ අනතුර ගැන අපට ආරංචි වුණා. අපි දුවලා එනකොට දැක්කා ලොරිය යට ලොකු අම්මයි, නැන්දයි වැටිලා ඉන්නවා.”

“ඒ වෙලාවේ සුවසැරිය ගිලන් රථය ආවා. ඒ අය කීවා මේ අය මැරිලා නිසා අරන් යන්න බෑ කියලා. පස්සේ අපි අඳුනන ටිපර් රථයක් ඉල්ලගෙන මිනී දෙක රෝහලට අරන් ගියා.”
මිය­ගිය පල්ලේ­ගෙ­දර අනු­ලා­වතී හා හත­ර­කෝ­රළේ ගෙදර බණ්ඩාර මැණිකේ යන අයගේ දිය­ණි­යන් දෙදෙ­නකු වන අංජලී පල්ලේ ගෙදර හා අයි­රං­ගනී කුමාරි සඳ­හන් කළේ විහා­ර­ස්ථා­නය අස­ලදී මේ පිරිස මාර්ගය හරහා ගමන් කළ බවට කට­කතා පැතිර ගියත් ඔවුන්ට එසේ මාර්ගය හරහා ගමන් කිරී­මට අව­ශ්‍ය­තා­වක් නොවන බවයි.

මරණ පරීක්ෂකවරයා රෝහල්ගතව සිටි රිය පැදවූ කාන්තාව නිරීක්ෂණය කිරීමට ද ගිය අතර, ඇගේ පවුලේ අය එම මෝටර් රථයෙන් දින දෙකක විනෝද චාරිකාවක් ගොස් ඇති බව හෙළි විය. නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ගම්පොළ පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා විසින් පසුගිය බදාදා (07) සවස රෝහල්ගතව සිටි මෙම කාන්තාව ගම්පොළ මහේස්ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඇය විසින් මේ කාන්තාව ලබන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක කාංගර හා රථවාහන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දන කුමාර යන අයගේ උපදෙස් මත පොලිස් සැරයන් (35766) සෙනෙවිරත්න හා (75864) දොඩම්වල නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *