BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත මැරූ ලොකු පැටීගේ මැනේජර් කපුවාගේ ගිණුමේ කෝටි 33 ක්

1398

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන “ලොකු පැටී” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මූල්‍ය ගනුදෙනු මෙහෙයවූ බව කියන ගන්දර ප්‍රදේශයේ කපුවෙකු නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගේ බැංකු ගිණුමක රුපියල් කෝටි 33කට අධික මුදලක් තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ.

 

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන් කුමාර ද සිල්වා, හෙවත් “ලොකු පැටී” ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසු පසුගිය මැයි මස 04 දින ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.
දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන “ලොකු පැටී” ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මෙම කපුවා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස මෙම සැකකාර කපුවා කටයුතු කර ඇති බවයි.

 

 

අත්අඩංගුවට ගත් සැකකරු දින හතක රැඳවුම් නියෝග මත තබාගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහුගෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.

දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ්ගේ මුදල් ලබාදෙන ලෙස කංජිපානි ඉම්රාන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත ඇතිවූ ආරවුල හා පසුව යූටියුබ් ඔස්සේ කළ නොරිස්සුම් කතා හේතුවෙන් ක්ලබ් වසන්ත ඝාතනය කළ බව බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ඊයේ රැගෙන ආ “ලොකු පැටී” නමැත්තා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර තිබුණි.

ලොකු පැටී නමින් හඳුන්වන මෙම සැකකරු, කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ. ජාත්‍යන්තර රතු නිවේදන මත අත්අඩංගුවට ගත් ඔහු, ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියක සැකකරුවෙකි.

ලොකු පැටී කළ හෙළිදරව්ව අනුව, මාකඳුරේ මධූෂ්ගේ මුදල් ක්ලබ් වසන්ත සතුව තිබී ඇති බැවින් ඒවා කංජිපානි ඉම්රාන් ඉල්ලා සිටින අවස්ථාවේ ක්ලබ් වසන්ත ඔහුට බැණ වැදී ඇත. මෙම සිදුවීම හේතුවෙන් කංජිපානි දැඩි ලෙස ක්ලබ් වසන්ත සමග උරණ වී සිටි බවත්, කංජිපානි ඉම්රාන් ලොකු පැටී සමග එක්ව ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බවත් සැකකරු පාපොච්චාරණයේදී හෙළි කර ඇත.

සැකකරු තවදුරටත් පවසා ඇත්තේ, ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් “ටැටූ මල්ලී” නැමැත්තා තම උපන් ගමේ වීම හේතුවෙන් ඔහුවද ඒ සඳහා යොදාගත් බවයි.

ලොකු පැටී නමැති සැකකරු තම පාපොච්චාරණයේදී, ක්ලබ් වසන්ත ප්‍රසිද්ධ යූ ටියුබ් නාළිකාවක් සමග පැවැති සංවාදයකදී සඳහන් කළ ප්‍රකාශයක් ගැනද අනාවරණය කර ඇත.

 

එනම්, ක්ලබ් වසන්ත එම සංවාදයේදී තමාට තරහකාරයෝ දෙදෙනෙකු සිටින බවත්, එක් අයෙකු මිය ගිය බවත්, අනෙකා බියෙන් රට පැන ගිය බවත් ප්‍රකාශ කර ඇති බවයි.

ලොකු පැටී හෙළි කරන ආකාරයට, ක්ලබ් වසන්ත විසින් “මළා” යැයි සඳහන් කර ඇත්තේ මාකඳුරේ මධූෂ් ගැන වන අතර, “රට පැන්නා” යනුවෙන් හඳුන්වා ඇත්තේ කංජිපානි ඉම්රාන් පිළිබඳවයි.

සැකකරු ලොකු පැටී තවදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ, තමන් ව්‍යාජ විදේශගමන් බලපත්‍රයක් සකසාගෙන ඩුබායි රාජ්‍යයට පලා ගිය බවයි. ඉන්පසුව ඔහු රොටුඹ අමිල නම් පාතාල කල්ලි සාමාජිකයා සමග බෙලරූස් රාජ්‍යයට ගොස් එහිදී අත්අඩංගුවට පත් වූ බවද හෙළි කර ඇත.

ජාත්‍යන්තර රතු නිවේදන මත අත්අඩංගුවට ගත් ලොකු පැටී නමැති සැකකරු දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබූ අතර ඝාතන කිහිපයක තොරතුරු අනාවරණය කරමින් පවතී.

-සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කටවරද්දාගත් බවට සැලකිය හැකි සුදා සමග කළ සාකච්ඡාවේ වීඩියෝ කොටස පහතින් (මෙම වීඩියෝව Oct 23, 2023 පළවූ අතර ඉන් මාස අටහමාරකට පසු July 08, 2024 ක්ලබ් වසන්ත ඝාතනය විය.) අදාළ වීඩියෝ කොටස පහතින්

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *