මාර්ගස්ථ අධිකාරි හිටපු සභාපති බැකෝ සමන්ට බස් එක පාරට දාන්න මාස්පතා ලක්ෂ තුනහමාර ගාණේ අරන්

1836

ඉන්දුනීසියාවේදී මෑතකදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයකු වන ‘බැකෝ සමන්’ ට අයත් සුඛෝපභෝගී බස් රථයකට මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වසර ගණනාවක් තිස්සේ මාස්පතා රුපියල් ලක්ෂ තුනහමාරක අල්ලසක් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

 

මෙම හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත. තවද, මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ද ළඟදීම තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (24) දින පැවසීය.

කොළඹ – මොනරාගල අතර මගී ප්‍රවාහනය සඳහා යොදාගත් මෙම සුඛෝපභෝගී බස් රථය, බැකෝ සමන් නමැත්තා විසින් 2022 වසරේදී හලාවත, මාදම්පේ ප්‍රදේශයේ වෙසෙන ධනවත් ව්‍යාපාරිකයකුගෙන් ගිවිසුමක් මාර්ගයෙන් මිලදී ගෙන ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

එම බස් රථය කොළඹ – මොනරාගල මාර්ගයේ ධාවනයට අවශ්‍ය බලපත්‍රය සකස් කර දීම සඳහා අදාළ හිටපු සභාපතිවරයා මසකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් ඉල්ලා ඇති බවත්, බැකෝ සමන් ඊට එකඟ වීමෙන් පසු බලපත්‍රය නිකුත් කර ඇති බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, බලපත්‍රය ලබා දීමෙන් අනතුරුව එතැන් සිට මාස්පතා මෙම රුපියල් ලක්ෂ තුනහමාරක මුදල හිටපු සභාපතිවරයා වෙත ලබා දී තිබේ. පසුගිය මාසයේදී පවා එම මුදල ගෙවා ඇති බවට පොලිසිය තොරතුරු තහවුරු කරගෙන ඇත.

බැකෝ සමන් විදේශගතව සැඟව සිටින කාලසීමාව තුළ ඔහුගේ සමීපතම ඥාතියකු විසින් මෙම මාසික අල්ලස් මුදල ගෙවීම අඛණ්ඩව සිදුකරගෙන ගොස් ඇති බවට ද කරුණු හෙළිදරව් වී ඇති අතර, එම ඥාතියා සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 

මෙම බස් රථයේ ආදායම් බලපත්‍රය පසුගිය මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසු, මුදල් ගනුදෙනු සිදුකළ බැකෝ සමන්ගේ ඥාතියා ඒ බව හිටපු සභාපතිවරයාට දැනුම් දී ඇත. එවිට ඔහු, “ප්‍රශ්නයක් වුණොත් මම බලා ගන්නම්, බය නැතුව බස් එක දුවන්න” යැයි පවසා ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

කොළඹ – මොනරාගල අතර ධාවනයේ යෙදවූ, වර්තමාන වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වන මෙම සුඛෝපභෝගී බස් රථය, කොළඹ බස් නැවතුම්පොළේ නවතා තිබියදී බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ පාතාල මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (23) දින පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගනු ලැබීය.

බස් රථයේ රියැදුරාගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ද, බැකෝ සමන් විසින් මෙම හිටපු සභාපතිවරයාට මාසිකව රුපියල් ලක්ෂ තුනහමාර බැගින් වූ මුදලක් ගෙවූ බවට ඔවුන් විසින් ද තොරතුරු හෙළිකර ඇතැයි පොලිසිය කීය.

අදාළ හිටපු සභාපතිවරයාට ඌව පළාත් සභාවේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සිය තනතුර අහිමි වීමෙන් පසුව පවා, “කළ උපකාරය වෙනුවෙන්” බැකෝ සමන් විසින් මෙම අල්ලස් මුදල දිගටම ලබා දීමට කටයුතු කර ඇති බව ද පොලිසිය පවසයි.

බස් රථය ගිවිසුම මත විකුණූ බව කියන මාදම්පේ ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ. එම ව්‍යාපාරිකයා, බැකෝ සමන් පාතාලයට සම්බන්ධ අයකු බව නොදැන සිට ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

මේ අතර, බැකෝ සමන්ට අයත් කෝටි පහක් පමණ වටිනා අනෙක් සුඛෝපභෝගී බස් රථය ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට භාරදී තිබියදී බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එය ද සිය භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත, බස්නාහිර උතුරු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සහ බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *