BREAKING NEWS
Search

අම්පාරේ ඇස් 4492 ක් පෑදූ විශ්වකර්ම විශේෂඥ වෛද්‍යතුමිය

563

 

 

 

2020 අගෝස්තු 14 දින අම්පාර මහ රෝහලේ සේවයට පැමිණි අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රදීපා බණ්ඩාර මැතිණිය අම්පාර ජනතාව වෙනුවෙන් ලබාදුන් අනුපමේය සේවාවට අද දින සමුදුන්නාය. ඒ විදේශ පුහුණුව වෙනුවන් තවත් දින 6 න් එංගලන්තය බලා යෑමටයි.

කොවීඩ් සමය තුල ශල්‍යගාරය මාස කිහිපයක් වසා තිබුණත් මේ කෙටි කාලය තුළ ඇය අම්පාරේ අසරණ රෝගීන්ගේ ඇස් 4,492 ක් පාදා දී ලෝකය බැලීමේ වරම් ලබා දුන්නාය. ඒ අතර ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්ම පමණක් 2,097 කි.

සෑම රෝගියෙකුටම ඉතාමත් කරුණාවන්ත ඇය රෝහලේ වැඩිපුර කාලයක් වැය කරමින් දිගු පෝලිම් තිබූ අක්ෂි සැත්කම් සියල්ලම අවසන් විනාඩිය දක්වාම ඉතාමත් කැපවීමෙන් අවසන් කලේ තම අතින් ලෝකය දෙස බලන්නට ආසාවෙන් සිටි අවසන් රෝගියාගේත් බලාපොරොත්තු ඉටුකර දීම පිණිසයි. පුහුණුවකට විදේශගත වීමට සිටින නිසා ඇයට රජයෙන් ලබා දී තිබූ සති 6 ක නිවාඩු කාලයත් නොගෙන ඒ සෑම තප්පරයක්ම අම්පාරේ රෝගින්ට අද දිනයේ අවසන් මොහොත දක්වාම වෙන්කල ඇය ඊයේ උදෑසන 5 සිට රාත්‍රී 12 දක්වාම තම සීමිත කාර්ය මණ්ඩලය සමග ශල්‍යකර්ම 25ක් සිදු කලාය. විශේෂයෙන් අම්පාරේ කොස්මැටික් අක්ෂි සැත්කම් පලමුවරට සිදු කලේ ඇය විසිනි. ඒ සදහා අවශ්‍ය කෘතිම ඇස් ඇය පුද්ගලිකවම සපයාගත් අතර, පුද්ගලිකවම එය සිදුකර ලක්ෂ ගාණක් උපයා ගත හැකිව තිබුනත් මුදලට වඩා තම රෝගී ජනතාවගේ අක්ෂි සංරක්ෂණය වෙනුවෙන් කැප වූවාය. ඇය විවේකයක් ලද සෑම විටකම අම්පාර මහ රෝහලේ සේවාව ලබා ගැනීමට අපහසුතා ඇති දුෂ්කර ගම්මාන වලට ගොස් නොමිලේ අක්ෂි සායන පවත්වා හදුනාගත් රෝගින් අම්පාර මහ රෝහල වෙත රැගෙනවිත් නොමිලේ අක්ෂිකාච සහ සැත්කම් ඉටුකර දුන්නාය.

 

පසුගිය මාස කිහිපයේ රටේ පවතින ආර්ථික තත්වය යටතේ රෝහල්වල අක්ෂි කාච හිග වූ අවස්ථාවේ තම පුද්ගලික වියදමින් පවා අසරණ රෝගීන් වෙනුවෙන් අක්ෂි කාච ගෙනවිත් ශල්‍යකර්ම සිදු කළාය. ඊට අමතරව තම හිතවතුන් මාර්ගයෙන් රෝහලට පරිත්‍යාග ලෙස ලබා ගත් අක්ෂි කාච යොදා දිලිදු රෝගීන්ට පෙනීම ලබා දුන්නාය. සෑම විටකම තම ධනය හා ශ්‍රමය අම්පාරේ අසරණ රෝගීන් වෙනුවෙන් වැය කිරීමට තරම් කාරුණික හදවතක් ඇය තුළ තිබුණි. අම්පාරේ වාසනාවට පැමිණි මේ විශ්වකර්ම වෛද්‍යතුමිය

 

අද දින අම්පාරෙන් සමුගෙන තවත් දින කිහිපයකින් එංගලන්තය බලා පිටත්වනු ඇත.

නමුත් අම්පාර මහ රෝහලේ සිටි කාලය තුළ ඇය ලබාදුන් සේවාව තව වසර ගණනාවක් අම්පාරේ ජනතාවගේ සිත් තුළ නොමැකී පවතිනු ඇත. විශෙෂඥ වෛද්‍ය ප්‍රදීපා බණ්ඩාර මැතිණියනි අම්පාරේ ඔබ අනුපමේය සේවාවට සමස්ත දිගාමඩුලු ජනතාව ඔබතුමියට සැමදා පිං දෙනු ඇත. ඔබට සුබ ගමන් . තව තවත් දැනුම රැගෙන තවත් කාලයක් ඔබේ කාරුණික සේවාව ලබා දෙන්නට නැවත අම්පාරට එනතුරු අපි බලාපොරොත්තු දෑස් දල්වා සිටිමු.

 

දර්ශණ ඉහළවත්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *