BREAKING NEWS
Search

දිරාගිය සිවුරක් තුල ඇදුන මහා ප්‍රතිපත්තියක්.. ඔබ නොඇසූ ලෝක සාම චාරිකාව ගැන කතාව

212

මේ සිවුර දෙස බලන්න. මෙය හුදෙක් පරණ රෙදි කඩක් නොව මහා වීර්යයවන්ත භික්ෂු ජීවිතයක ජීවමාන සාක්ෂියකි. තායිලන්තයේ දකුණු දිග කඳුකර වනාන්තර සෙනසුනක වැඩවසන පියධම්මෝ ස්වාමීන් වහන්සේ මේ වන විට වස් දහසයක් සම්පූර්ණ කළ හිමිනමකි. උන්වහන්සේ ගෙවන්නේ පුදුම සහගත ලෙස සරල සහ විනයගරුක ජීවිතයකි. වසර ගණනාවක් තිස්සේ උන්වහන්සේ භාවිතා කර ඇත්තේ එකම තුන් සිවුර පමණක් වන අතර කිසි දිනෙක ඒවා ඉවත් කර අලුත් සිවුරු ගෙන නොමැත. උන්වහන්සේ අංශකඩයක්වත් භාවිතා නොකරන බව පැවසුවහොත් ඔබ පුදුම වේවි. පසුගිය වසර දහතුනක කාලය පුරාවටම උන්වහන්සේ කිසි දිනෙක සැතපීම සඳහා දිගා වී නොමැති අතර නින්දේදී පවා උන්වහන්සේ වැඩසිටින්නේ වාඩි වී ගත් ඉරියව්වෙනි. උන්වහන්සේ සෑම තැනකම වඩින්නේ පාවහන් රහිතවය. පාදවල තුවාලයක් වූ විටෙක වුවද සාමාන්‍ය රෙදි පටියකින් වෙලා ගන්නා උන්වහන්සේ තම ගමන නවත්වන්නේ නැත.

මේ දිනවල උන්වහන්සේ සම්බන්ධ වී සිටින සාම චාරිකාව උන්වහන්සේගේ දසවැනි දීර්ඝ චාරිකාවයි. අතීතයේදී උන්වහන්සේ හිමාල කඳුකරයේ දැඩි සීතල මැද වසර දෙකක් වැඩ සිටියේද උණුසුම සඳහා මේ සිවුරු තුන පමණක් භාවිතා කරමිනි. අප සීතලට බියෙන් හීටර් දමාගෙන කාමර තුළ ගුලි වී සිටින විට උන්වහන්සේ එළිමහනේ වාඩි වී සුවසේ වැඩ සිටිති. එළිමහනේ ලැගුම් ගන්නා විට උන්වහන්සේ ගැන මට ඇතිවන්නේ පුදුම ගවුරවයකි. මන්ද උන්වහන්සේ කූඩාරමක්වත් භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන අතර සිවුර හිස සිට පොරවාගෙන වාඩි වී ගත් ඉරියව්වෙන්ම එළිමහනේ රැය පහන් කරති. උන්වහන්සේගේ මේ වීර්යය අතිශය විස්මිතය. මේ ගමනට එක්ව සිටින සෑම භික්ෂූන් වහන්සේ නමක්ම උන්වහන්සේට දැඩි සේ ගරු කරති.

පඤ්ඤාකාර හිමියන් විසින් පියධම්මෝ හිමියන්ගේ මේ වසර දහයකට වඩා පැරණි සිවුර ගැන තැබූ සටහනක් පහතින් දැක්වේ.

ඡායාරූපයේ ඔබට පෙනෙන්නේ ධුතාංගධාරී පියධම්මෝ හිමියන් වසර දහයකට වඩා පැරණි තම සිවුර ඉතා ඕනෑකමින් මසා ගන්නා ආකාරයයි. බැලූ බැල්මට එය පරණ රෙදි කැබැල්ලක් ලෙස පෙනුනද එය ථේරවාදී බෞද්ධ භික්ෂුවකගේ සරල බව අල්පේච්ඡතාවය සහ අතහැරීම ප්‍රගුණ කරන ධුතාංග ජීවිතයකට කදිම සාක්ෂියකි.
උන්වහන්සේ ඒ ගැන මෙසේ පවසති. මේ සිවුර මම නැවත නැවතත් මසාගෙන අණ්ඩ දමාගෙන පාවිච්චි කරන එකක්. බොහෝ දෙනෙක් ශ්‍රද්ධාවෙන් ඇවිත් මට අලුත් සිවුරු පූජා කරන්න හැදුවා. නමුත් මම මේ සිවුර මාරු කරන්නේ නෑ. මෙය දිරාපත් වී භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වන තුරුම පරිහරණය කරනවා කියලා මම අධිෂ්ඨානයක් අරගෙන තියෙන්නේ.

මේ දිරා ගිය සිවුරේ ඇති සෑම රැලි පාරකම සටහන් වී ඇත්තේ ඝන වනාන්තරවල උන්වහන්සේ ගත කළ දීර්ඝ කාලයයි. ඒ කාලයේ උන්වහන්සේ මේවා අතින් මැහුවා. අව්වට වැස්සට පින්නට සහ සුළඟට හසුවෙමින් නෙක්ඛම්ම අදහසින් යුතුව ලද දෙයින් සතුටු වෙමින් සරල ජීවිතයක් ගෙවූ අතීතය එහි සැඟව ඇත. අද වන විට තරමක් පහසුකම් ඇති වටපිටාවක සිටියද උන්වහන්සේගේ පැවතුම් වෙනස් වී නැත. වෙනසකට ඇත්තේ එදා වනාන්තරයේදී අතින් මැසූ සිවුර අද කුඩා මැෂිමක ආධාරයෙන් ඉතා සිහියෙන් යුතුව අලුත්වැඩියා කර ගනිමින් 2025 ඔක්තෝබර් 26 වන දිනට යෙදුණු සාම චාරිකාව සඳහා සූදානම් වීම පමණි.

පසුගිය දිනවල අනෙක් ස්වාමීන් වහන්සේලා එකතු වී මේ සිවුර පඬු පොවන්නට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. ඊට හේතුව නම් සංඝයා වහන්සේලා පරිහරණය කළ පරණ සිවුරු කැබලි එකතු කර වසර ගණනාවක් තිස්සේ අණ්ඩ දමමින් සකස් කර ඇති නිසා විවිධ රෙදි වර්ගවලට එකම වර්ණය නොකැවෙන බැවිනි. නමුත් ඒ අඩුපාඩුවම භික්ෂු ජීවිතයක පරිපූර්ණ අලංකාරය මතු කර පෙන්වයි. සරල බවත් ඔරොත්තු දීමේ හැකියාවත් සංඝයාගේ එකමුතුකමත් ඉන් දිස්වේ. පරණ සිවුරක් වුවද එය භික්ෂුවකට ඇති වටිනාම වස්තුවයි. එය අතහැරීමේ සහ ඉවසීමේ ප්‍රතිඥාවකි. සංසාර ගමන ආලෝකවත් කරන පහනකි.

ඇමරිකාව හරහා මේ හිමිවරුන් වඩින සෑම පියවරක්ම කීර්තිය හෝ ප්‍රශංසාව බලාපොරොත්තුවෙන් තබන ඒවා නොවේ. කුසල ධර්මයන් වැඩීමටත් පිරිසිදු ශ්‍රද්ධාව ඇති කිරීමටත් සියලු සත්වයන්ට කරුණාව සහ ප්‍රඥාව ලබා දීමටත් මේ ගමන උපකාරී වනු ඇත. මේ පරණ සිවුර අපගේ ප්‍රතිපත්තිමය ජීවිතයටද මතක් කර දෙන්නේ පාඩමකි. සැබවින්ම වටිනා දෙය නම් බාහිර පෙනුම අලුත්ද පරණද යන්න නොව අපගේ අභ්‍යන්තර ගුණ ධර්මවල පිරිසිදුකමයි. හුස්ම ගන්නා සෑම මොහොතකම වෙනස් නොවන අධිෂ්ඨානයයි එය. සිවුරක් දිරාපත් වී ඉරී යා හැකිය. නමුත් ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් ධර්මය බෙදා දීමටත් සාමයේ මාවතේ ගමන් කිරීමටත් ඇති අධිෂ්ඨානය ධර්මය මෙන්ම නොසැලී පවතිනු ඇත. ජාති ජරා මරණ මැද නොනිවී දැල්වෙන කරුණාවේ පහන් ටැඹක් ලෙස එය බබළනු ඇත. ජීවිතයේ එන කුණාටු මැද ඔබටත් සැනසීම උදා වේවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!