BREAKING NEWS
Search

ප්‍රේමකීර්තිගේ සෙවනැල්ලේ වැසී ගිය ගීත රචකයා.

439

 

දෙඅදර විලිකුන් සුරත් ඵලින්

පෙම් මදිරා අයදිමින් සැලේ..

 

මේ ගීතය ඇහෙන හැම වලාවකම මට කේ ඩී කේ ධර්මවර්ධන කියන ගීත රචකය ගැන ශෝකයක් එනව…ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ ප්‍රේම කීර්ති ද අල්විස්ට සමකාලීනව හිටපු විශිෂ්ට ගීත රචකයෙක්…මම පුද්ගලිකව හිතන දේ තමයි ඔහු පිළිබඳ අවදානය ප්‍රේමකීර්තිගෙ සෙවනැල්ලෙන් වැසී ගිය බව…ඝාතනය වූ ප්‍රේමකීර්ති ජීවත් වූ ප්‍රේමකීර්තිට වඩා සිය ගුනයක් ප්‍රබල උනා…ඒකෙ අරුමයක් නෑ…ප්‍රේම්ගෙ අකල් වියෝව එක්ක සමාජය තුළ ඇතිකළ කම්පනය දරාගන්න මිනිස්සු සමීප උනේ ප්‍රේම්ගෙ ගීත වලට…

 

ප්‍රේම් ජීවත්වෙලා ඉන්නකොට අහපු සිංදු ම ඝාතනය වූ පසු ඇහෙද්දි ඒවායේ භාවාතීශ බව වැඩි උනා…ප්‍රේම් පතාක යෝධයෙක් වගේ දැනෙන්න ගන්නෙ ඔහුගෙ ඝාතනය එක්ක ඒ ගීත රසික විචාරක පර්ෂද ඇතුළෙ ඉස්සෙන්න ගන්නකොට…හැබැයි කේ ඩී කේට එහෙම විශේෂ අවදානයක් එන්න සිදුවීම්මය හේතුවක් හැදෙන්නෙ නෑ වගේම ඝාතනය වූ ප්‍රේම් ගීත රචනයේ පරමාදර්ශයක් හැටියට ඉස්සුනාම අනෙක් රචකයො යම් පමණකට අවප්‍රමාණ වෙනව….කේ ඩී කේට වෙන්නෙ ඒක…

 

කේ ඩී කේගෙ මරණය පවා සවභාවික මරණයක් මිස සිදුවීමක් හැටියට විශේෂ ප්‍රවෘත්තියක් වෙන්නෙත් නෑ…ඒ නිසා ඒ මරණය රසික ප්‍රජාවට කේ ඩී කේ ගැන විශේෂයෙන් හොයන්න පොළඹවන කම්පනයක් ඇති නොකරපු බව පේන්න තිබුණ…මෙන්න මේ වටපිටාව තුළ තමයි ප්‍රේම්ට සමකාලීන කේ ඩී කේ රසික විචාරක පර්ෂද වලට මග හැරෙන්නෙ…මේ දෙන්න ගුවන් විදුලි සන්නිවේදකයන් හැටියට සමකාලීන වගේම එකිනෙකාට දෙවැනි නොවන ප්‍රතිභාවක් පළකළ විශිෂ්ටතම ගීත රචක දෙපළ බව තමයි මගේ නිරීක්ෂණය…කේ ඩී කේ රචනා කළ ගීතාවලිය අතිශය ජනප්‍රිය උවත් ප්‍රේම් පමණක් ශ්‍රාවක ජනයා අතර අධිනිශ්චය වෙන්නෙ ඔහුගෙ අනපේක්ෂිත ඝාතනය විසින් ඇතිකළ කම්පනය නිසා…

 

කේ ඩී කේ ධර්මවර්ධනගෙ ගීතාවලිය විමසනකොට ඔහු කොතරම් දැවැන්තයෙක් දැයි හඳුනා ගන්න අපහසු නෑ…වැවහර බසත් සම්භාව්‍ය සිංහලයත් ප්‍රබල ලෙස ඔහු සිය පරිකල්පනය තුළට කැඳවා ගන්නා ආකාරය විශ්මිතයි…අපූර්ව ගීතෝක්ති වලින් සරසා ඔහු පිරිනමන ගීතාවලිය කිසිවෙකුට මගහැර යන්න බෑ…ඔහුගේ ගී විටෙක තත්සම තත්භව පද වල එළියෙන් ප්‍රභාමත් වෙන හැටි පුදුමයි…ඒවා පරිකල්පනය විසින් ආලේපිත භාෂාලංකාර මිස බැහැරින් ඔබ්බන ලද භාෂා සැරසිලි නොවේ.

 

“නීල බිඟු කැළ – කාමරස පෙළ

ආදරෙන් සනසා

තිසර තුඩු මුදු – තමර පහසින්

මෝහනය වීලා”

(ගීතය – නීල බිඟු කැළ)

 

“දෙඅදර විලිකුන් සුරත් ඵලින්

පෙම් මදිරා අයදිමින් සැලේ”

(ගීතය – දෙඅදර විලිකුන්)

 

“උකුල ලැමහස මළවි කරලිය

මුවා කළ ඇගෙ දුහුල් සළුතිර

විවර කෙරුවා මනස් සළෙලුන්

උමතු වූ දෙනුවන් රැහැන් මැද

මා අබියස මැවුණු තුසිතය

සුරන් නැල වූ සුයාමය”

(ගීතය – කුමරියක පා සළඹ සැළුනා )

 

“ලැම විල පියකරු හසුන් රකින්නී

සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී

මන්මද නර්තන රංගන කළ මැන”

(ගීතයය – හෝපලු වනපෙත)

 

පූර්වෝක්ත ගීත හතර උනත් කේ ඩී කේ සතු භාෂාධිපත්‍යයේ දිග පළල හිතාගන්න හොඳටම ප්‍රමාණවත්….ඔහු ලියපු ගී සියලු රසික සහෘද කොටස් ඇතුළෙ ජනප්‍රියම ගී බව ඒ ගී නාමාවලිය බැලුවම පේනව…මම කැමතියි ඉන් කොටසක් මතක් කරන්න.

 

🔸කුමරියක පා සළඹ සැළුනා,

🔸මා සනසා මා නළවා,

🔸නිලුපුල් යුවලේ,

🔸රණඹර ඉඳු දුනු,

🔸මගෙ හිත පිරී තිබෙන්නේ,

🔸මට මෙන් ඔහුටද කඳුළ ඔබයි,

🔸සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්

🔸ඇගෙ සිනහව තහනම්,

🔸බිඟු වැලපීලා මල් පරවීලා,

🔸ඝන අඳුරේ රළ පතරේ,

🔸වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ,

🔸හද පතුලේ හසරැල්ල,

🔸හඬන්නෙපා දැන්,

🔸ඉවුරු තලා ගංඟා බැස යනවා

🔸කවුදෝ කවුදෝ මා සෙව්වේ,

🔸කොහේ සිට ඔබ පැමිණියේදෝ

🔸මා හා එදා ප්‍රිය සාදයේ,

🔸ඔබට සිත ආදරේ කරයි

🔸කලේ පැන් ඇත,

🔸නීල බිඟු කැල,

🔸පැරදීලා පලා ගියේ නෑ,

🔸සයුරු තෙරේදී,

🔸සුරඟන වෙස්වලා,

🔸වෙන්වෙන්නවාදෝ ළං වූයේ

🔸අද හෙට ඔබ මා අතහැර යනබව,

🔸ආදරේ රන් බිඟුන් නැසූ,

🔸දිනෙක හිරු බැස යන වෙලාවක

🔸කෙසේ කියන්නද ඔබ මා අතහැර

🔸හෝපලු වනපෙත කම්පිත කරවන

🔸හඬන පණ නල,

🔸ආදර සීනුව දෙව්ලොව දොරකඩ

🔸මහ වැස්සක පෙරනිමිති,

🔸සිනහ වෙනු මැන වේදනා පිසදා,

🔸රිදී නිම්නය කඳුළු නිම්නය,

🔸රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ

🔸සඳ හිරු තරු පවතිනතුරු.

 

මේ සා ජනප්‍රිය ගීතාවලියක හිමිකරුවා ප්‍රේමකීර්ති හා සමකාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ විසූ බව දන්න සහෘදයො සුලබ නෑ….ඒකට එක් හේතුවක් උනේ ප්‍රේමකීර්තිගෙ ඝාතනයෙන් ප්‍රේමකීර්තිගෙ ගීත දෙසට ආපු ක්ෂණික අවදානය කියල මම කියන්නෙ ප්‍රේමකීර්තිගෙ ගී මග අවප්‍රමාණ කරන්න නෙවෙයි….ඒත් ඔහුගෙ සෙවනැල්ල අවශේෂ ගුවන් විදුලි ගීත රචකයන් වසාගෙන පතිත උනා කියන එක මතක් කරන්න…මම හිතනව අද හරි ලංකාවෙ රසිකයොකේ ඩී කේ හරියට දැනගන්න ඕන කියල.

 

– රවී සිරිවර්ධන –

 

උපුටා ගැනීමක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!